Monday, July 30, 2018

ඇන්ටාක්ටිකාවත් ප්ලාස්ටික් නිසා දූෂණයට

ජගත් පරිසර පුවත් 267 - 13.06.2018


ධනේෂ් විසුම්පෙරුම
විදුසර, 13.06.2018, පි. 3 (Vidusara)



මෙම වර්ෂය මුලදී ඇන්ටාක්ටිකා මහාද්වීපයෙන් ලබාගත් හිම හා ජල නියැදි පිළිබඳව සිදුකරන ලද අධ්‍යයනවලින් ප්ලාස්ටික් හා හානිකර රසායනික ද්‍රව්‍ය හමු වී ඇතැයි වාර්තා වෙයි. ග‍්‍රීන්පීස් සංවිධානය විසින් සිදු කර ඇති මෙම අධ්‍යයනය අනුව මෙතෙක් ප්ලාස්ටික් මගින් දූෂණයට ලක් වී නොතිබුණු අවසන් ස්වාභාවික පරිසර පද්ධතියද ප්ලාස්ටික් මගින් දූෂණයට ලක්වෙමින් ඇති බව මේ අනුව පෙනෙයි. එමගින් පෙනෙන්නේ ලෝකය පුරා ව්‍යාප්තව ඇති ප්ලාස්ටික් පරිසර දූෂණයේ තරමයි.

2018 වර්ෂයේ ජනවාරි සිට මාර්තු දක්වා වූ කාලයේදී ග‍්‍රීන් පීස් සංවිධානයේ ආක්ටික් සන්රයිස් නම් යාත‍්‍රාව යොදාගනිමින් සිදුකරන ලද මෙම ගවේෂණයේදී ඇන්ටාක්ටික් මහාද්වීපයේ හුදකලා ප‍්‍රදේශවලින් හිම හා සාගර ප‍්‍රදේශවලින් ජල නියැදි ලබාගෙන ඇත. එම නියැදි විශ්ලේෂණයේදී පෙනී ගොස් ඇත්තේ එ්වායින් බහුතරයක් තුළ දිගුකල් පවත්නා උපද්‍රවකාරී රසායන ද්‍රව්‍ය හෝ ක්ෂුද්‍රප්ලාස්ටික් ඇතුළත් වන බවයි. ලබාගත් සාගර ජල නියැදි අටකින් හතකම ක්ෂුද්‍ර ප්ලාස්ටික් ඇතුළත් වී තිබූ අතර, හිම නියැදි නවයකින් හතකම දිගුකල් පවත්නා උපද්‍රවකාරී රසායන ද්‍රව්‍ය (persistent hazardous chemicals) ඇතුළත් වී ඇත.

උක්ත ද්‍රව්‍ය මිනිසුන් විසින් නිෂ්පාදනය කරනු ලැබ පරිසරයට එකතු කරනු ලබන ද්‍රව්‍ය වෙයි. මෙම අධ්‍යයනයෙන් පෙනී යන පරිදි ඇන්ටාක්ටිකාව වැනි පරිසර පද්ධතියක්ද මෙම මානව මූලික පරිසර දූෂණයෙන් නිදහස් වී නොමැත. එමෙන්ම ජගත් මට්ටමින් ප්ලාස්ටික් හා උපද්‍රවකාරී රසායන ද්‍රව්‍ය මගින් ඇති වී තිබෙන හානියේ තරම මෙමගින් තවදුරටත් තහවුරු වෙයි. එසේම මෙවැනි නොඉඳුල් පරිසර පද්ධතියක් ආරක්ෂා කරගැනීම සඳහා කටයුතු කිරීමේ ඇති වැදගත්කමද පැහැදිලිය. මේ වන විට වර්ග කිලෝමීටර් මිලියන 1.8ක විශාලත්වයකින් යුක්ත අභය භූමියක් ඇන්ටාක්ටික් සාගර කලාපයේ ප‍්‍රකාශයට පත්කිරීම සඳහා සාකච්ඡුා පැවැත්වෙමින් තිබෙයි. මේ වර්ෂයේ ඔක්තෝබර් මාසයේදී ඇන්ටාක්ටික් සාගර කොමිසම මගින් මේ පිළිබඳව තීරණයක් ගැනීමට නියමිතව ඇති බව පැවසෙයි. (මූලාශ‍්‍රය: Microplastics and persistent fluorinated chemicals in the Antarctic, www.greenpeace.org)

No comments:

Post a Comment