Tuesday, July 31, 2018

ඞීප් වෝටර් හොරයිසන් හානියේ තරම

ජගත් පරිසර පුවත් 270 - 04.07.2018


ධනේෂ් විසුම්පෙරුම
විදුසර, 04.07.2018, පි. 3 (Vidusara)



2010 වර්ෂයේදී සිදු වූ ඞීප් වෝටර් හොරයිසන් තෙල් ළිං අනතුර නිසා ඇති වූ බලපෑම සම්බන්ධව වාර්තාවක් පසුගියදා නිකුත් වී ඇත. එ් අනුව එම අනතුරෙන් මෙක්සිකෝ බොක්ක ප‍්‍රදේශයේ කුඩා ජීවියා ඇතුළුව ජෛව විවිධත්වයට සැලකිය යුතු බලපෑමක් සිදු වී තිබෙයි.

තෙල් බැරල් මිලියක 4ක් පමණ ප‍්‍රමාණක් මෙක්සිකෝ බොක්කට නිකුත් වූ 2010 අපේ‍්‍රල් මාසයේ සිදු වූ එම තෙල් ළිං අනතුරෙන් එකොළොස් දෙනෙකු පමණ මියගිය බවද වාර්තා විය. මේ අනුව එහි බලපෑමෙන් එම ස්ථානයට ආසන්න ප‍්‍රදේශවල ජෛව විවිධත්වයට බරපතළ බලපෑමක් ඇති වී තිබෙන බව අනාවරණය වී ඇත. මේ ප‍්‍රදේශයේ කිලෝමීටර් 150ක් පමණ දුර සීමාවේ දැකිය හැකි ගිලී ගිය නෞකා හතක් ආශ‍්‍රිතවලබාගත් සාම්පල අධ්‍යයනයේදී පර්යේෂකයන්ට පෙනීගොස් ඇත්තේ එ්වායේ ක්ෂුද්‍ර ජීවී ජෛව විවිධත්වය අහිමි වී ඇති බවයි. එ්වායේ දැකිය හැකි වී ඇත්තේ ක්ෂුද්‍රජීවී විශේෂ කිහිපයක් පමණකි. සාගරයේ ගිලී ගොස් ඇති නෞකා පිළිබඳ හෙළි වන මේ තත්ත්වය හේතුවෙන් මෙම තෙල් කාන්දුවේ බලපෑම අවසන් වී ඇති බවත්, එයට පිළියම් සිදු වී ඇති බවත් සිතීමට තවමත් කල් වැඩි බව මේ පර්යේෂකයන්ගේ අදහසයි.

මෙම වාර්තාව නිකුත් වී ඇත්තේ ඇමරිකකාවේ හා ප‍්‍රදේශයේ සාගරය තවදුරටත් අනතුරුදායක තත්ත්වයකට පත්ව තිබියදී බව විචාරකයන්ගේ මතය වෙයි. එයට හේතුව වන්නේ වර්තමාන ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප්ගේ ප‍්‍රතිපත්ති නිසාය. තෙල් ළිං පිළිබඳව පෙර පරිපාලනය විසින් ගෙන තිබූ දැඩි නීති ලිහිල් කිරීමට හා එ් පිළිබඳ බලතල ප‍්‍රාන්ත ආණ්ඩුවලට පවරාදීමට ට‍්‍රම්ප් පාලනය යටතේ මේ වන විට පියවර ගනිමින් තිබෙයි. මෙය අදාළ කර්මාන්තයේ සතුටට හේතු වී ඇති අතරම, සංරක්ෂණවේදීන්ගේ නොසතුටටද හේතු වී ඇත. (මූලාශ‍්‍රය: Scientific Reports, DOI: 10.1038/s41598-018-27350-z)

No comments:

Post a Comment