Tuesday, April 30, 2019

නවසීලන්තයේ පරිසරය හමුවේ ඇති අනතුර

ජගත් පරිසර පුවත් 310 - 24.04.2019


ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 24.04.2019, පි. 3 (Vidusara)



නවසීලන්තය පිළිබදව බොහෝදෙනා තුළ මැවෙන චිත‍්‍රය වන්නේ එය සුන්දර හා පිරිසිදු පරිසරයකින් යුක්ත රටක් ලෙසය. එරට සඳහා ඉහළ සංචාරක ආකර්ෂණයක් දැකිය හැකි හේතු අතරද එම කරුණු වෙයි. එහෙත් එරට පරිසරය සම්බන්ධව පසුගියදා නිකුත්වූ වාර්තාවක් මගින් ඉදිරිපත්ව ඇති කරුණු එතරම් සතුටුදායක නොවේ. වසර හතරකට පසුව නිකුත්කර ඇති Environment Aotearoa නම් මෙම වාර්තාව එරට පිළිගත් ආයතනවල නිල දත්ත යොදාගනිමින් සකස් කරන ලද්දකි.

මෙම වාර්තාව මගින් හඳුනාගෙන ඇති මූලික පාරිසරික ගැටලූ අතර, ජෛව විවිධත්වය අහිමි වීම, ජලමාර්ග දූෂණයට ලක්වීම, පශුපාලන කර්මාන්තයේ හානිකර වර්ධනය හා නාගරික පරිසරයේ ව්‍යාප්තිය යන කරුණු ඇතුළත් වෙයි.

ජෛව විවිධත්වය පිළිබඳව සැලකුවහොත්, මානව ජනාවාස ඇති වූ පසුව නවසීලන්තයෙන් ශාක හා සත්ත්ව විශේෂ 75ක් පමණ මුළුමනින්ම වඳවී ගොස් ඇත. පක්ෂි ගහන සම්බන්ධයෙන් ප‍්‍රකට එරට තුළ දැන් පක්ෂීන්ද තර්ජනයට ලක්ව ඇත. මුහුදු පක්ෂීන් අතරින් 90%ක් පමණද, වෙරළාශ‍්‍රිත පක්ෂීන් අතරින් 80%ක් පමණද වඳවීමේ තර්ජනයකට ලක්ව ඇති බව උක්ත වාර්තාව සඳහන් කරයි. එරට තුළ දැකිය හැකි දුර්ලභ පරිසර පද්ධති අතරින් තුනෙන් දෙකක් පමණ ප‍්‍රමාණයක් බිඳවැටීමේ අනතුරකට ලක්ව තිබෙයි. එමෙන්ම එරට සංරක්ෂණ කටයුතු පිළිබඳවද ගැටලූ මතුවන්නේ පසුගිය වසර 15ක කාලය ඇතුළත වඳවීමේ තර්ජනය ඉහළ ගිය විශේෂ ගණන 86ක් වන අතර, වඳවීමේ තර්ජනය අඩුවූ විශේෂ ගණන වසර 10ක් තුළ 26ක් පමණක් වීම නිසාය.

එරට ජල සම්පත් හමුවේද ඇත්තේ ගැටලූ සහිත තත්ත්වයකි. එරට මිරිදිය ජලයේ තත්ත්වය සඳහා බලපා ඇති මූලික සාධකය වී ඇත්තේ මෑත දශක කිහිපය තුළදී ඉහළ ගොස් ඇති පශුපාලනයයි. නිරීක්ෂණයට ලක්ව ඇති විල් අතරින් 57%ක් පමණ ප‍්‍රමාණයක ජලයේ තත්ත්වය දුර්වලය. එරට දැකිය හැකි දේශීය මසුන් අතරින් 76%ක් පමණ වඳවීමේ තර්ජනයට ලක්ව ඇත. මිරිදිය කෘමීන් අතරින් තුනෙන් එකක් පමණද තර්ජනයට ලක්ව සිටියි. එමෙන්ම එරට භූගත ජලෙයන් 59%ක් පමණ ප‍්‍රමාණයක් Escherichia coli බැක්ටීරියාව හමුවීම නිසාද, තවත් 13%ක් පමණ නයිටෙ‍්‍රට තිබීම නිසා එරට ප‍්‍රමිතියට එකඟ නොවෙයි.

මේ තත්ත්වය එරට පරිසරයට මෙන්ම ජෙවෙ විවිධත්වය හමුවේද ඇති අභියෝගයේ තරම පෙන්නුම් කරන්නකි.

No comments:

Post a Comment