Tuesday, April 30, 2019

අඩු කාබන් කලාපයකට සැරසෙන ලන්ඩනය

ජගත් පරිසර පුවත් 309 - 10.04.2019


ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 10.04.2019, පි. 3 (Vidusara)



ඉතා අඩු කාබන් විමෝචන සහිත කලාපයක් හෙවත් අති අඩු කාබන් කලාපයක් (ultra-low emission zone - Ulez) ප‍්‍රකාශයට පත් කිරීමට ලන්ඩනය පියවර ගෙන ඇත. මේ අනුව අපේ‍්‍රල් මස 8 වැන දින සිට මධ්‍යම ලන්ඩනයට ඇතුළුවන විමෝචන අධික වාහනයකින් දිනකට පවුම් 12.50ක මුදලක් අයකිරීමට ලන්ඩන් නගර බලධාරීන් කටයුතු කරයි.

මෙම නව නීතිය අනුව, 2015 වර්ෂයේ සිට නියම කර ඇති යුරෝ 6 ප‍්‍රමිතියට අනුගත නොවන ඞීසල් කාර් රථ හා වෑන් රථවලට මෙම මුදල ගෙවීමට සිදු වනු ඇත. එසරම වසර 14කට වඩා පැරණි ප්‍රෙටල් මෝටර්රථවලටද මෙම ගෙවීම අදාළ වෙයි. එම තත්ත්වයට නොගැලපෙන බස් රථ, ලොරි රථ ආදියට පවුම් සියයක ගාස්තුවක් ගෙවීමට සිදුවන බවද වාර්තා වෙයි. මෙම ගාස්තුව අයකිරීමට යන්නේ වාහනයේ අංක තහඩුව මත හා සියලූ වාහනවල විමෝචන පිළිබඳව වන දත්ත ඇතුළත්වන දත්ත සමුදායක් භාවිත කරමිනි. මෙම කලාපයට දිනකට රථවාහන 100,000ක් පමණ ඇතුළුවන බව අතර ඉන් පහෙන් පංගුවක් පමණ මෙම ගෙවීමට යටත් විය හැකිය.

මෙම පියවර මගින් එම ප‍්‍රදේශවය පිවිසෙන වාහන ප‍්‍රමාණය 5%කින්ද, මාර්ගස්ථ වායු දූෂණය 45%කින් පමණ ප‍්‍රමාණයකින්ද අඩු කිරීමට අපේක්ෂිත බව වාර්තා විය. වායු දූෂණය නිසා ඇති වන ඇදුම උග‍්‍රව වාර්ෂිකව දහසක් පමණ ලන්ඩන් වැසියන් පිරිසක් රෝහල්ගත වෙති. අද වන විට ලන්ඩනයේ වෙසෙන මිලියන දෙකක් පමණ ජනකායක් සෞඛ්‍යයට අහිතකර නයිට‍්‍රජන් ඩයොක්සයිඞ් සාන්ද්‍රණයක් සහිත ප‍්‍රදේශවල වාසය කරති.

නගර බලධාරීන් මෙම පියවර මගින් අපේක්ෂා කරනු ලබන්නේ අධික වායු විමෝචන ප‍්‍රමාණයක් සහිත වාහන නගරය හරහා ගමන් කිරීම නැවැත්වීම හා රියැදුරන්ට වඩා පවිත‍්‍ර ප‍්‍රවාහන ක‍්‍රමයක් යොදැගැනීමට පෙළඹවීමය. මෙම ක‍්‍රියාමාර්ගයේම දෙවැනි පියවරක් ලෙස 2021 වර්ෂයේදී ලන්ඩන් නගරයේම වඩා විශාල ප‍්‍රදේශයක් මෙම නීතිය යටතට ගැනීමට නියමිතය. එය ලන්ඩන් නගරවැසියන්ට දැනෙන එකක් වනු ඇති බවද වාර්තාවල සඳහන් වෙයි.

මෙවැනි පියවරක් ගත් ලොව පළමු නගරය වන්නේ ලන්ඩනයයි. එසේම එරට තවත් නගර කිහිපයක් 2020 සිට මෙවැනි පිරිසිදු වාතය සහිත කලාප හඳුන්වාදීමට පියවර ගන්නා බව සඳහන් වෙයි. ඒ අතර බර්බින්හැම් හා ලීඞ්ස් වැනි නගර ඇත.

No comments:

Post a Comment