Tuesday, April 30, 2019

පක්ෂීන්ට මාරක වන උස් ගොඩනැගිලි

ජගත් පරිසර පුවත් 309 - 10.04.2019


ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 10.04.2019, පි. 3 (Vidusara)



උස් ගොඩනැගිලි නිසා සිදු වන පක්ෂි මරණ පිළිබඳව සැලකීමේදී පක්ෂීන්ට වඩාත් භයානක වන ඇමරිකානු නගර මොනවාද යන්න පසුගියදා ප‍්‍රකාශයට පත් වූ වාර්තාවකින් පෙන්වා දී ඇත.

උස් ගොඩනැගිලි වීදුරුවලින් ආවරණය වීම හා රාත‍්‍රියේදී ගොඩනැගිලි ආලෝකමත් වීම නිසා මේ ආකාරයෙන් පක්ෂීන් මරණයට පත්වීම සිදුවෙයි. එසේ සිදුවන්නේ පක්ෂීන් එම වීදුරුවලින් දිස්වන ප‍්‍රතිබිම්බවලට රැුවටී ඒ සැබෑ යැයි සිතා ඒ වෙතට පියාසර කර එහි ගැටීම එක් ක‍්‍රමයකි. ස්වාභාවිකවම ආලෝකයට ආකර්ෂණය වන රාත‍්‍රි කාලයේ පියාසර කරන පක්ෂීන් දිදුලන ආලෝකය සහිත නගරයක එළියෙන් දිලෙන ගොඩනැගිලිවල වැදීම නිසාය. මේ පිළිබඳව කලක් තිස්සේ අවධානය යොමුව තිබූ අතර, එවැනි පක්ෂි මරණ පිළිබඳ ප‍්‍රමාණවත් හා විශ්වාසනීය සංඛ්‍යාලේඛන නොපැවතිනි. මෙවැනි උස් ගොඩනැගිලි නිසා එක් වසරකදී ඇමරිකාව තුළ දී පමණක් මරණයට පත්වන පක්ෂීන් ගණන අඩුම වශයෙන් මිලියන 100ක් පමණ වන බවත් එහි උපරිමය ඇතැම්විට බිලියනයක් තරම් විය හැකි බවත් 2014 වර්ෂයේදී පමණ ප‍්‍රකාශිත අධ්‍යයනයකින් පෙන්වාදී ඇත.

කෙසේ වෙතත් පසුගියදා නිකුත් වූ නව වාර්තාව මගින් එරට තුළ ගොඩනැගිලිවල වැදීම නිසා ඉහත ආකාරයෙන් පක්ෂි මරණවලට හේතුවන නගර අනුපිළිවෙලක් සකස් කර ඇත. ඒ අනුව එරට තුළ පක්ෂීන්ට වඩාත්ම භයානක වන නගරය වන්නේ චිකාගෝවයි. එම නගරය පිහිටා ඇත්තේ මධ්‍යම හා දකුණු ඇමරිකාවේ සිට කැනඩාව වෙත පක්ෂීන් පර්යටනය කරන ගමන් මාර්ගයකය. හූස්ටන් හා ඩලාස් යන නගර දෙවැනි හා තෙවැනි භයානක නගර වෙයි. ඒවාද පිහිටා ඇත්තේ පර්යටන මාර්ගයකය. තවත් මෙවැනි නගර කිහිපයක් වන්නේ නිව්යෝක්, ලොස් ඇන්ජලීස්, සෙන්ට්ලූවිස් හා ඇට්ලන්ටාය.

මෙම අධ්‍යයනය සිදුකර ඇත්තේ වසර විස්සක පමණ කාලයක් තිස්සේ එක්රැුස් කරන ලද දත්ත යොදාගනිමිනි. එම පර්යේෂකයන් පෙන්වා දී ඇති ආකාරයට ඔවුන්ගේ අරමුණ නගරවල තත්ත්වය විවේචනය කිරීම නොව පවත්නා පිළිබඳව අවධානය යොමු කර වීමය. එය පක්ෂි සංරක්ෂණය සඳහා යොදාගැනීම ඔවුන්ගේ අරමුණ බව පෙනෙයි. සරලව ගතහොත් පක්ෂි පර්යටනය සිදුවන කාලවකවානුවලදී නගරවල ගොඩනැගිලිවල ආලෝකය රාත‍්‍රි කාලයේදී නිවා දැමීම මෙම පර්යේෂකයන් විසින් යෝජනා කරනු ලබන එක් පියවරකි.

මූලාශ‍්‍රය - Frontiers in Ecology and the Environment, DOI: 10.1002/fee.2029

No comments:

Post a Comment