Sunday, January 28, 2018

එල් නිනෝ තත්ත්වයක් නොමැතිව ගෙවුණු උණුසුම්ම වසර 2017

ජගත් පරිසර පුවත් 247 - 24.01.2018


ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 24.01.2018, පි. 3 (Vidusara)


ගෙවුණු 2017 වර්ෂය ලෝකයේ වාර්තාගතව ඇති උෂ්ණත්වයෙන් ඉහළතම වර්ෂ අතර දෙවන හෝ තෙවන වර්ෂය බව වාර්තා වෙයි. එයට වඩා උණුසුමින් අධික වූයේ 2016 වන අතර 2015 වර්ෂය ඊට වඩා උණුසුමින් අධික හෝ සමාන වූ වර්ෂයකි. එහෙත් එම වර්ෂ දෙකම ස්වාභාවික සිංසිද්ධියක් වන එල් නිනෝ තත්තවය පැවැති වර්ෂ වෙයි. මේ අනුව එල් නිනෝ තත්ත්වයක් නොමැතිව ගෙවුණු උෂ්ණත්වයෙන් ඉහළම වර්ෂය වන්නේ 2017 වර්ෂයයි.

මේ කරුණු අනාවරණය වන්නේ බි‍්‍රතාන්‍යයේ කාලගුණ කාර්යාලයෙන් හා ඇමරිකාවේ ජාතික ගගනවිද්‍යා හා අභ්‍යවකාශ පරිපාලනය (NASA) හා ජාතික සාගරික හා වායුගෝලීය පරිපාලනය (NOAA) යන ආයතනවල දත්ත අනුවය. ලෝකයේ මහාද්වීප සියල්ලෙන්ම ලබාගෙන ඇති දත්ත අනුව පෙනෙන්නේ 2017 හා 2015 යන වර්ෂවල උෂ්ණත්වය බොහෝ දුරට සමාන විය හැකි බවකි. ඒ අනුව නාසා ආයතනය පවසන්නේ 2017 ලෝකයේ දෙවැනි උණුසුම්ම වර්ෂය බවයි. අනෙක් ආයතන ද්විත්වය 2017 එය තුන්වන උණුසුමින් ඉහළම වර්ෂය සේ දක්වා ඇත. මෙය ගණනය කිරීම්වල වෙනස්කම් නිසා ඇතිවන තත්ත්වයකි. බි‍්‍රතාන්‍යයේ කාලගුණ කාර්යාලයේ දත්ත අනුව 2017 වර්ෂය පූර්ව කාර්මික අවධියට (1850-1900 අතර කාලයේ පැවැති උෂ්ණත්වයේ සාමාන්‍යයට* වඩා සෙල්සියස් අංක 0.99ක් පමණ ඉහළ විය. අනෙක් අතට 2017 උෂ්ණත්වය 1981-2010 සාමාන්‍යයට වඩා සෙල්සියස් අංශක 0.38ක් ඉහළය. නාසා ආයතයට අනුව 2017 උෂ්ණත්වය 1951-1980 සාමාන්‍යයට වඩා සෙල්සියස් අංශක 0.9ක් ඉහළය.

කෙසේ වෙතත් එල් නිනෝ තත්ත්වයක් නොමැතිව මෙවැනි අධික උෂ්ණත්වයක් පැවැතීම තරමක් විස්මයට කරුණකි. එසේම නාසා ආයතනය විසින් ගොඩ නගා ඇති ප‍්‍රස්තාරයකට අනුව එල් නිනෝ වැනි තත්ත්ව නොසැලකූ විටදී ඉහළම උෂ්ණත්වය ඇති වර්ෂය 2017 වෙයි. මේ අනුව පෙනෙන්නේ දේශගුණයට බලපාන බරපතළම ස්වාභාවික බලපෑම වන එල් නිනෝ තත්ත්වයෙන් ඇති කරන බලපෑම ඉක්මවීමට තරම් මානව ක‍්‍රියාකාරකම් මගින් ඇතිවන බලපෑම ප‍්‍රබල වී ඇති බවක්ද?

No comments:

Post a Comment