Wednesday, January 31, 2018

ගෝලීය ආක‍්‍රමණික විශේෂ ලේඛනයක්

ජගත් පරිසර පුවත් 248 - 31.01.2018


ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 31.01.2018, පි. 3 (Vidusara)



ජෛව විවිධත්වයට තර්ජනයක්ව ඇති ආක‍්‍රමණික ජීවී විශේෂ සම්බන්ධව කටයුතු කරන ආයතන කිහිපයක දායකත්වයෙන් ආක‍්‍රමණික විශේෂ පිළිබඳ ජගත් මට්ටමේ ලේඛනයක් සකස් කර තිබේ. එමගින් ජීවී විශේෂ 6,414ක් පමණ අතරින් පහෙන් පංගුවක් පමණ ප‍්‍රමාණයකගේ පාරිසරික බලපෑම් පිළිබඳ සාධක දැකිය හැකිය.

හඳුන්වාදුන් හා ආක‍්‍රමණික ජීවී විශේෂ පිළිබඳ ජගත් ලේඛනය (Global Register of Introduced and Invasive Species - GRIIS) ලෙස නම් කර ඇති මෙම ලේඛනයේ රටවල් අනුව හඳුන්වාදුන් (ස්වාභාවිකකරණය වී ඇති) හා ආක‍්‍රමණික ජීවී විශේෂ ලැයිස්තු ගත කර ඇත. මෙම ලේඛනයේ රටවල් විස්සක දැකිය හැකි ආක‍්‍රමණික ජීවීන් පිළිබඳ නාමලේඛන ඇතුළත් වන අතර, එය මේ වර්ෂය අවසන්වන විට සම්පූර්ණ කිරීමට නියමිත වෙයි. එය www.griis.org නම් වෙබ් අඩවියේ ඇතුළත්ව තිබෙයි. මෙම ලේඛනය භාවිතකරමින් එ් එ් රටවල දැකිය හැකි ආගන්තුක ආක‍්‍රමණික ජීවී විශේෂ නාමලේඛනයක් ජනනය කර ගත හැකිය. මෙම රටවල් විස්ස අතරට ශ‍්‍රී ලංකාවද ඇතුළත් වන අතර, අපේ රටෙන් වාර්තා වන ආක‍්‍රමණික විශේෂ 184ක නාමලේඛනයක් ඊට ඇතුළත්ය.

ආක‍්‍රමණික ජීවී විශේෂවල ජගත් මට්ටමේ ව්‍යාප්තිය සම්බන්ධව පැවැති තොරතුරුවල අඩුවක් මෙමගින් සම්පූර්ණ කරගැනීමට අවස්ථාව ලැබී ඇත. අනාගතයේදී මේ විශේෂ පිළිබඳ නිරීක්ෂණය කිරීම සඳහා මේ ලේඛනයේ ඇතුළත් තොරතුරු යොදාගත හැකිය. ආගන්තුක ආක‍්‍රමණික විශේෂ යනු යම් පරිසර පද්ධතියකට දේශීය නොවන ජීවී විශේෂ වේ. මේවා මගින් අදාළ පරිසර පද්ධතියට, එහි වෙසෙන සෙසු ජීවීන්ට, මිනිසුන්ට, ආර්ථිකයට ආදි වශයෙන් විවිධ හානි සිදු විය හැකිය. මේවා පාලනය කිරීම සඳහා විශාල වියදමක් හා ශ‍්‍රමයක් වැය කිරීමට මේ රටවල බලධාරීන්ට සිදු වී තිබෙයි. එබැවින් ආක‍්‍රමණික ජීවී විශේෂ පිළිබඳව දැනුම වැදගත් වෙයි. (මූලාශ‍්‍රය: Scientific Data, DOI: 10.1038/sdata.2017.202)

No comments:

Post a Comment