Monday, January 15, 2018

ලෝකයෙන් හතරෙන් පංගුවක් ශුෂ්ක වීමේ අවදානමක

ජගත් පරිසර පුවත් 245 - 10.01.2018


ධනේෂ් විසුම්පෙරුම

විදුසර, පි. 3, 10.01.2018 (Vidusara)



අනාගතයේදී ඇති වන උෂ්ණත්වය ඉහළ යෑම සෙල්සියස් අංශක 2ක් තරම් වුවහොත් ලෝකයේ මුළු බිම් ප‍්‍රමාණයෙන් 24%-32% අතර ප‍්‍රදේශයක් සැලකිය යුතු තරම් වියළි වූ ශුෂ්ක ප‍්‍රදේශ බවට පත්වීමේ දැඩි අවදානමක් ඇති බව විiඥයන් පිරිසක් විසින් අනාවරණය කර ඇත.

අනාගත ශුෂ්කතාවය පිළිබඳව වඩාත් සවිස්තර අධ්‍යයනය යනුවෙන් හඳුන්වාදී ඇති මෙම අධ්‍යයනයේදී ඔවුන් එකිනෙකට වෙනස් වූ ගෝලීය දේශගුණ ආකෘති 27ක් යොදාගනිමින් පූර්ව කාර්මික අවධියේ පැවැති උෂ්ණත්වයට වඩා සෙල්සියස් අංශක 1.5ක් හා අංශක 2කින් උෂ්ණත්වය ඉහළ යන විට සැලකිය යුතු තරම් වියළි වන කලාප හඳුනාගැනීම සිදු කර තිබේ.

එහි පෙන්වාදී ඇති ආකාරයට ලෝකයේ සැලකිය යුතු ප‍්‍රදේශ ගණනාවක නිය`ග තත්ත්වය ඉහළ යෑම හා ලැව්ගිනි තර්ජනය ඉහළ යෑම ඇති විය හැකිය. මේ වන විටත් වියළි ස්වභාවය ඉහළ ගොස් ඇති ප‍්‍රදේශ අතර, මධ්‍යධරණී කලාපය, දකුණු දිග අප‍්‍රිකානු කලාපය, ඔස්ටේ‍්‍රලියාවේ නැගෙනහිර වෙරළ ප‍්‍රදේශය දැක්විය හැකිය. එසේම මෙක්සිකෝවේ, බ‍්‍රසීලයේ, දකුණුදිග අප‍්‍රිකාවේ හා ඔස්ටේ‍්‍රලියාවේ අර්ධ ශුෂ්ක ප‍්‍රදේශ මේ වන විටද කාන්තාර බවට පත්වීමට පටන්ගෙන තිබෙයි.

මෙම අධ්‍යයනයේදී හඳුනාගෙන ඇති තවත් වැදගත් කරුණක් වන්නේ ලෝකයේ උෂ්ණත්වය ඉහළ යෑම සෙල්සියස් අංශක 1.5ක සීමාවේ නවත්වා ගත හැකි නම් ඉහත කී බලපෑමට ලක්විය හැකි ප‍්‍රදේශ අතරින් තුනෙන් දෙකක පමණ එවැනි ආන්තික වෙනස් වීම් සිදුවීම වළක්වා ගත හැකි බවයි. මේ කලාපය ලෝකයේ මුළු ජනගහනයෙන් 20%ක් පමණ පිරිසක් ජීවත් වන ප‍්‍රදේශ වන බැවින් මෙය ඉතා වැදගත් කරුණකි.

කෙසේ වෙතත්, මේ වන විට ඇතිවෙමින් තිබෙන උෂ්ණත්ව වර්ධනය පූර්ව කාර්මික අවධියේ පැවැති උෂ්ණත්වයට වඩා සෙල්සියස් අංශක 1.5 හෝ අංශක 2 සීමාවකට සීමා කළ හැකි වේද යන්න අද පවත්නා තත්ත්වය අනුව නම් ගැටලූවකි.

(මූලාශ‍්‍රය: Nature Climate Change, DOI: 10.1038/s41558-017-0034-4)

No comments:

Post a Comment