Monday, January 15, 2018

කොරල්පර විරංජනය වීම් අතර කාල පරතරය අඩු වේ

ජගත් පරිසර පුවත් 245 - 10.01.2018


ධනේෂ් විසුම්පෙරුම

විදුසර, පි. 3, 10.01.2018 (Vidusara)



කොරල්පර විරංජනය වීම් දෙකක් අතර කාල පරතරයේ සාමාන්‍ය අගය මෑත කාලයේදී විශාල වශයෙන් අඩු වී ඇති බව පර්යේෂණයකින් පෙන්වාදී තිබෙයි. මෙසේ අඩු කාලපරතරයකදී කොරල්පර විරංජනය වීම් නැවත නැවත සිදුවීම කොරල්පරවලට දැඩි තර්ජනයකි.

ලෝකය පුරා කොරල්පර 100ක 1980 සිට 2016 දක්වා කාලයේදී සිදු වු විරංජන සිදුවීම් පිළිබඳව සිදුකරන ලද මෙම අධ්‍යයනයේදී පෙනී ගොස් ඇති ආකාරයට 1980 දශකයේ මුල් කාලයේදී කොරල්පර විරංජනය වීමක් සිදුව ඇත්තේ සාමාන්‍යයෙන් වසර 25-30 අතර කාලයකට වරකි. එහෙත් අද වන විට වසර හයකට පමණ වරක් විරංජනයක් ඇති වන තත්ත්වයක් ඇති වී තිබෙයි. මෙය පවත්නා තත්ත්වයේ භයානක ස්වභාවය පෙන්වා දෙන්නකි.

මේ ආකාරයෙන් කොරල්පර විරංජනය වීම සිදුවන්නේ උණුසුම් ජලධාරා හේතුවෙනි. එවිට කොරල්වලට වර්ණ ලබාදෙන සහජීවී ඇල්ගා විශේෂ කොරල්වලින් ඉවත්වීම නිසා කොරල්පරයේ වර්ණය අහිමි වෙයි. කෙටි කාලයක් ඇතුළත තත්ත්වය ආපසු යථා තත්ත්වයට පත් නොවුවහොත්, මෙය කොරල්පරය මියයෑමට පවා හේතු විය හැකිය. ඇතැම් විට පරය යථා තත්ත්වයට පත්වීමට වසර ගණනාවක් පමණ කාලයක් වුවද ගත වීමට හැකිය. එසේ නොවුවහොත් පරය විනාශ වෙයි.

මේ ආකාරයෙන් විරංජන සිදුවීම් ඇති වීමේ කාල පරතරය අඩු වීම හෙවත් විරංජන සිදුවීම් නිතර ඇති වීම දේශගුණ ආකෘති මගින් පෙන්වාදී ඇති තත්ත්ව සමඟ මනාව ගැලපෙන්නකි. දේශගුණ ආකෘති මගින් පුරෝකථනය කර ඇති ආකාරයට මෙම ශත වර්ෂය මැද භාගය පමණ වන විට කොරල්පර මේ ආකාරයෙන් තාප ආතතියකට ලක්වීම වාර්ෂිකව ඇති විය හැකි සිදුවීමකි. සාගර පරිසර පද්ධතියෙන් 0.1%ක් තරම් කුඩා ප‍්‍රදේශයක පැතිර ඇති වුවද, සාගර ජෛව විවිධත්වයෙන් තුනෙන් එකක් පමණ දැකිය හැකි වන කොරල්පර විනාශයට පත්වීම ඒවායින් ලැබෙන පරිසර පද්ධති සේවා රැුසක් අහිමි වීමට හේතුවක් වෙයි.

(මූලාශ්‍රය: Science, DOI: 10.1126/science.aan8048)

No comments:

Post a Comment