Showing posts with label Development Project. Show all posts
Showing posts with label Development Project. Show all posts

Monday, January 22, 2018

ව්‍යාඝ‍්‍ර සංරක්ෂණය සඳහා වනමංකඩවලින් යාවුණු ආරක්ෂිත ප‍්‍රදේශ අවශ්‍යයි

ජගත් පරිසර පුවත් 246 - 17.01.2018


ධනේෂ් විසුම්පෙරුම

විදුසර, පි. 3, 17.01.2018 (Vidusara)


තර්ජනයට ලක්ව ඇති මාංශභක්ෂක ක්ෂීරපායින් අතර ව්‍යාඝ‍්‍රයෝ ඉදිරියෙන්ම සිටිති. මේ වන විට ව්‍යාඝ‍්‍රයින්ගේ ඓතිහාසික වාස භූමියෙන් 95%ක් පමණ ප‍්‍රදේශයක ඔවුන් දැකගත නොහැකිය. එසේම අද වන විට ඔවුන් දැකිය හැකි වාසස්ථාන අධික ලෙස කට්ටිකරණය වීම (fragmentation) නිසා ව්‍යාඝ‍්‍රයින්ට මේ වනාන්තර කොටස් අතර ගමන් කිරීම සඳහා විවිධ බාධක ඇති වී තිබෙයි. ඒ අතර, මහා මාර්ග, මහා නගර, ආදිය දැක්විය හැකිය.

ව්‍යාඝ‍්‍ර සංරක්ෂණය සම්බන්ධව සිදුකරන ලද, පසුගියදා ප‍්‍රකාශයට පත් වූ අධ්‍යයනයකට අනුව, මේ සතුන්ගේ අනාගත පැවැත්ම තහවුරු කිරීම සඳහා වන මංකඩවලින් එකිනෙකට සම්බන්ධ වූ ආරක්ෂිත ප‍්‍රදේශ ජාලයක් පවත්වාගැනීම වැදගත් වෙයි.
මධ්‍යම ඉන්දියාවේ ව්‍යාඝ‍්‍ර ගහන සම්බන්ධව සිදුකරන ලද මේ අධ්‍යයනයේදී එම සතුන්ගේ ප‍්‍රවේණික ද්‍රව්‍ය සම්බන්ධව අවධානය යොමුකර ඇත. එහි අරමුණ වී ඇත්තේ ව්‍යාඝ‍්‍ර ගහනයේ ගමන්රටාවටලට භූදර්ශනය කෙසේ බලපා තිබේද යන්න වටහාගැනීමයි. විශේෂයෙන් මහාමාර්ග පද්ධති, කෘෂිබිම් ආදිය ව්‍යාප්ත වීම ව්‍යාඝ‍්‍රයින්ට බලපා ඇති අන්දම වටහාගැනීමය. එහිදී පෙනී ගොස් ඇති පරිදි දැනට ව්‍යාඝ‍්‍රයන් ආරක්ෂිත ප‍්‍රදේශ අතර ගමන් කරන බව හා ඔවුන් අතර ප‍්‍රවේණික ද්‍රව්‍ය හුවමාරු වන නමුත්, මහා මාර්ග හා අධික ජන ඝනත්වයකින් යුක්ත නාගරික ප‍්‍රදේශ ව්‍යාඝ‍්‍රයින්ගේ ගමන්රටාවලට හානිකර ලෙස බලපා ඇත.

මේ මත පදනම්ව අනාගතයේ ඇති විය හැකි එකිනෙකට වෙනස් සංවර්ධන සංසිද්ධි 86ක් පිළිබඳව අවධානය යොමු කිරීමට මේ පර්යේෂකයන් ක‍්‍රියාකර ඇත. එ් අතර වෙනසක් නොමැතිව කටයුතු සිදුවන ආකාරය, භූදර්ශනයේ වෙනස්වීම් සඳහා සීමා පැනවුවහොත් ඇති වන තත්ත්ව හා ආරක්ෂිත වන මංකඩ සහිත තත්ත්ව වැනි සංසිද්ධි වෙයි. එ් අනුව හෙළි වී ඇත්තේ සැලසුම් සහිත සංවර්ධන කටයුතු හා වනමංකඩ මගින් සම්බන්ධ වූ ආරක්ෂිත ප‍්‍රදේශ තිබීම මේ සතුන්ගේ පැවැත්ම සඳහා වැදගත් වන බවයි.

(මූලාශ‍්‍රය: Biological Conservation, DOI: 10.1016/j.biocon.2017.12.022)

Tuesday, June 21, 2016

මාර්ගවල පරිසර බලපෑම් - ජගත් පරිසර පුවත් 006 (27.03.2013)


ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 27.03.2013

Vidusara - World Environmental News (27.03.2013)


මාර්ගවල පරිසර බලපෑම්


මහාමාර්ග ඉදිකිරීම නිසා පරිසරයට ඇතිවන බලපෑම් පිළිබඳව ලෝකයේ විවිධ ප‍්‍රදේශවලින් අපට අසන්නට ලැබේ. විශේෂයෙන් වනාන්තර හා වෙනත් නොඉඳුල් පරිසර පද්ධති හරහා මාර්ග ඉදිකිරීම නිසා ඇති විය හැකි බලපෑම් මේ අතරින් ප‍්‍රමුඛය.

මහාමාර්ග පිළිබඳව මෑතදී සිදුකරන ලද විමර්ශනයකට අනුව මහාමාර්ග මගින් පරිසරයට සැලකිය යුතු ආපසු නිවැරදි කළ නොහැකි හානියක් ඇතිවිය හැකිය. නිදසුනක් ලෙස ගතහොත් ඇමසන් වනාන්තරයේ වන විනාශයෙන් හා වන ගිනි අතරින් 95%ක් පමණ ඇති වී තිබෙන්නේ මාර්ගවල සිට කිලෝමීටර් 10ක දුරක් ඇතුළතය.

කෙසේ වෙතත් අදාළ මේ පර්යේෂකයින්ට ඔවුන් පෙන්වාදෙන ආකාරයට මනාව සැලසුම් කර මහාමාර්ග ඉදිකිරීමෙන් මේ තත්ත්වය වළක්වා ගත හැකිය. මාර්ග පිහිටුවිය යුතු ස්ථානය මෙහිදී ඉතා වැදගත්ය. මාර්ග ඉදි කළ යුත්තේ වනගත ප‍්‍රදේශවලින් ඈත්ව පිහිටි ප‍්‍රදේශවලය. එසේම, කෘෂිකර්මය හා සංවර්ධනය සඳහා යෝග්‍ය ප‍්‍රදේශවලය. එවැනි ප‍්‍රදේශවල ප‍්‍රවාහනය දියුණු වීමෙන් වනගත ප‍්‍රදේශ හෙළිවීම සඳහා ඇති අවස්ථාවද අඩු වේ. (මූලාශ‍්‍රය: Nature, DOI: 10.1038/495308a)