Sunday, January 28, 2018

දේශගුණ වෙනස් වීමේ මනෝවිද්‍යාත්මක බලපෑම

ජගත් පරිසර පුවත් 247 - 24.01.2018


ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 24.01.2018, පි. 3 (Vidusara)



දේශගුණ වෙනස් වීම මිනිසුන්ට මනෝවිද්‍යාත්මකව ඇති කරන බලපෑම කෙබඳු විය හැකිද යන්න සම්බන්ධයෙන් අවධානය යොමු කළ අධ්‍යයනයක් පසුගියදා ප‍්‍රකාශයට පත්ව ඇත. එයින් පැහැදිලි කිරීමට උත්සාහ කර ඇත්තේ දේශගුණ වෙනස් වීම නිසා ඇති වී තිබෙන තර්ජනය පිළිබඳ සංජානනය මිනිසුන්ගේ මානසික සෞඛ්‍යයට බලපා ඇති ආකාරයයි. දේශගුණ වෙනස් වීමේ පාරිසරික බලපෑම් අවධානයට ලක්ව ඇති නමුත් මිනිසුන්ට ඇතිවන මානසික බලපෑම් මේ දක්වා අවධානයට ලක්ව නොමැත.

එ් අනුව ඔවුන් පෙන්වා දෙන්නේ ඇතැම් පිරිස්වලට ලෝකයේ වෙනස් වන දේශගුණය සම්බන්ධව කිසිදු සාංකාවක් හෝ නොමැති වුවත්, තවත් පිරිස්වලට ඉහළ මට්ටමක මානසික ආතතියක් (stress) හෝ ඇතැම් විට මනෝ විෂාදයක් (depression) හෝ ඇති බවයි. එම මට්ටම තීරණය වන්නේ දේශගුණ වෙනස් වීම පිළිබඳ ඔවුන්ගේ සංජානනය අනුවය.

මින් පැහැදිලි වන්නේ මිනිසුන් දේශගුණ වෙනස් වීම සම්බන්ධව දක්වන මනෝ විද්‍යාත්මක ප‍්‍රතිචාරය තීරණය වන්නේ ඔවුන් පරිසරය සම්බන්ධව දක්වන සැලකිල්ල මත බවය. මෙම පර්යේෂකයන් මිනිසුන්ගේ පාරිසරික සැලකිල්ල අනුව කණ්ඩායම් තුනක් වෙන්කර හඳුනාගෙන ඇත. ඉන් පළමුවැන්න අදාළ පුද්ගලයාගේ පරිසරයට සිදුවන බලපෑම් පිළිබඳ සැලකිල්ලක් දක්වන කණ්ඩායමයි. දෙවැන්න පොදුවේ මනුෂ්‍යත්වයට සිදුවන බලපෑම පිළිබඳව සැලකිලිමත් වන කණ්ඩායමයි. තෙවැන්න ශාක හා සතුන්ද ඇතුළුව සොබාදහම හෙවත් ජෛවගෝලයම පිළිබඳව සැලකිලිමත් වන කණ්ඩායමයි. වැඩිහිටියන් යොදාගත් මෙම අන්තර්ජාල සමීක්ෂණයේදී හෙළි වී ඇති පරිදි දේශගුණ වෙනස් වීම හේතුවෙන් වඩාත් ආතතියකට පත්ව ඇත්තේ හා ඇතැම් විට විෂාද තත්ත්වයක් පෙන්වා ඇත්තේද මේ තෙවන කණ්ඩායමේ අයයිි. පළමු හා දෙවන කණ්ඩායම් එතරම් ආතතියකට පත්ව නැත.

මේ අනුව ලෝකයේ ජීවත්වන සතුන් හා ශාක පිළිබඳව වැඩි සැලකිල්ලක් දක්වන්නවුන් දේශගුණ වෙනස් වීමේ ප‍්‍රතිඵල පිළිබඳ වැඩි ආතතයකින් පසුවන බව පෙනෙයි.

(මූලාශ‍්‍රය: Global Environmental Change, DOI: 10.1016/j.gloenvcha.2017.11.012)

No comments:

Post a Comment