Monday, January 22, 2018

ඕසෝන් සිදුර යථා තත්ත්වයට පත්වීම පිළිබඳ පළමු ඍජු සාධකය

ජගත් පරිසර පුවත් 246 - 17.01.2018


ධනේෂ් විසුම්පෙරුම

විදුසර, පි. 3, 17.01.2018 (Vidusara)



වායුගෝලයේ පවත්නා ඕසෝන් වායුව විනාශ කිරීම සඳහා හේතු වන රසායන ද්‍රව්‍ය භාවිතව අවසන් කිරීමේ ප‍්‍රතිඵලයක් ලෙස ඕසෝන් ස්තරය යථා තත්ත්වයට පත් වීම පිළිබඳ පළමු ඍජු සාධකය ලැබුණු බව පසුගියදා වාර්තා විය. මේ අනුව ඕසෝන් ස්තරයට හානිකරන ක්ලෝරීන් සාන්ද්‍රණය අඩුවෙමින් ඇති බව ඕසෝන් සිදුර සම්බන්ධව මුල්වරට සිදුකරන ලද චන්ද්‍රිකා නිරීක්ෂණය මගින් පෙන්වාදී තිබෙයි.

එම අධ්‍යයනයේදී ලබාගෙන ඇති මිනුම්වලින් පෙනී ගොස් ඇත්තේ CFC හෙවත් ක්ලෝරෝෆ්ලෝරොකාබන් නිසා ආක්ටික් ශීත ඍතුවේ ඇති වන ඕසෝන් වායු විනාශය 2005 වර්ෂයේ පැවැති ප‍්‍රමාණයට වඩා මේ වන විට 20%ක් පමණ අඩු වී ඇති බවයි. ක්ලෝරීන් හා ඕසෝන් සම්බන්ධව එවැනි තත්ත්වයක් NASA ආයතනයේ චන්ද්‍රිකා මගින් නිරීක්ෂණය කළ පළමු අවස්ථාව මෙය වෙයි.
සංඛ්‍යාත්මකව ගතහොත්, ඇන්ටාක්ටිකාවේ පහළ වායුගෝලයේ 2004-2007 අතර කාලයේ පැවැති අකාබනික ක්ලෝරීන් සාන්ද්‍රණයට වඩා, 2013-2016 අතර කාලයේ පැවැති ක්ලෝරීන් සාන්ද්‍රණය ටි‍්‍රලියනයකට කොටස් 223කින් පමණ අඩුය. ක්ලෝරීන් අඩුවීම වර්ෂයකට ආසන්න වශයෙන් 0.8%ක් පමණය. මීට පෙර සිදුකර ඇති අධ්‍යයනවලින් ඕසෝන් විනාශය අඩුවන බව පෙන්වාදී ඇතත් ඕසෝන් සිදුරේ ඇති රසායන ද්‍රව්‍යවල සංයුතිය යොදා ගනිමින් ඕසෝන් විනාශය අඩුවන බව හා එය සිදුවන්නේ ක්‍ත්‍ක්‍ වායු සාන්ද්‍රණය අඩු වීම නිසා බව පෙන්වා දී ඇත්තේ පළමු වතාවට වීම මෙම අධ්‍යයනයේ ඇති විශේෂත්වයයි.
ඕසෝන් වායුව විනාශ වීම සඳහා හැලජනීකෘත වායු බලපාන බව අනාවරණය වීමෙන් හා ඇන්ටාක්ටික් ඕසෝන් සිදුර සොයාගැනීමෙන් පසුව එම තත්ත්වය වළක්වාලීම සඳහා වියානා සම්මුතිය ඇතිකරගන්නා ලදි. එ් යටතේ සම්මත කරගත් මොන්ටි‍්‍රයල් සන්ධානය අනුව ඕසෝන් ස්තරය විනාශවීමට හේතුවන රසායන ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් කිරීම සිදුවිය. එයට ලෝකයේ සියලූ රටවලින් සාර්ථක ප‍්‍රතිචාර ලැබුණු අතර මේ එහි සාර්ථක ප‍්‍රතිඵල පෙන්වා දුන් අවස්ථාවකි.

(මූලාශ‍්‍රය: Geophysical Research Letters, DOI: 10.1002/2017GL074830)

No comments:

Post a Comment