Monday, January 8, 2018

දේශගුණ වෙනස් වීම නිසා යුරෝපයට අනාගතයේ වාර්තාගත සංක‍්‍රමණිකයන් පිරිසක්

ජගත් පරිසර පුවත් 244 - 03.01.2018


ධනේෂ් විසුම්පෙරුම


විදුසර, පි. 3, 03.01.2018 (Vidusara)


දේශගුණ වෙනස් වීම පිළිබඳව අද දැකිය හැකි ප‍්‍රවණතාවය අඛණ්ඩව පැවතුනහොත් යුරෝපයේ සරණාගත තත්ත්වය අපේක්ෂා කරන සංක‍්‍රමණිකයන් ගණන වේගයෙන් ඉහළ යා හැකි බව අධයයනයකින් පෙන්වාදී ඇත. දේශගුණ සාධක පමණක් සැලකුවද මේ සියවස අවසන් වන විට යුරෝපයට එක් වර්ෂයකදී සරණාගතයන් ලෙස පැමිණෙන සංක‍්‍රමණිකයන් ගණන මිලියනයක් පමණ විය හැකි බව එම අධ්‍යයනයෙහි දැක්වේ. එය අද පැමිණෙන සරණාගතයන් ගණන මෙන් තුන්ගුණයක් පමණ වේ. එ් වෙනත් දේශපාලන හා ආර්ථික වැනි සාධකවල බලපෑමක් නොමැති යැයි සැලකුවහොත්ය.

වෙනත් රටවල් 103ක පමණ සිට යුරෝපා සංගමයේ රටවලට 2000 සිට 2014 වර්ෂය දක්වා කාලයේදී සංක‍්‍රමණය වූ පිරිස් විසින් ඉදිරිපත් කරන ලද සරණාගත අයඳුම්පත් මෙහිදී අවධානයට යොමු වී ඇත. මේ කාලයේදී වාර්ෂිකව ඉදිරිපත් වූ සරණාගත අයඳුම්පත් ප‍්‍රමාණය සාමාන්‍යයෙන් 351,000ක් තරම් විය. මේ අයඳුම්පත්වල ඇතුළත් උෂ්ණත්වය හා කාලගුණය වැනි පාරිසරික සාධක පිළිබඳ තොරතුරු සංසන්දනය කිරීමෙන් කාලගුණය හා සරණාගත අයඳුම්පත් ප‍්‍රමාණය අතර සම්බන්ධතාවයක් අනාවරණය කරගැනීමට පර්යේෂකයෝ සමත්වූහ. නිදසුනක් ලෙස ගතහොත්, වගා සමයේ උෂ්ණත්වය අංශක 20 ඉක්මවූ කාලවලදී එවැනි රටවලින් වෙනත් රටවලට ජනතාව සංක‍්‍රමණය වීම ඉහළ ගොස් ඇත. එසේම අධික උෂ්ණත්වයක් පැවති කාලවලදී එවැනි රටවලින් ලැබෙන අයඳුම්පත් ප‍්‍රමාණයද ඉහළ ගොස් ඇත.

මෙසේ හෙළි වූ කරුණු මත පදනම්ව ගොඩ නැගූ ආකෘතියෙන් පෙන්වාදී ඇත්තේ දේශගුණ වෙනස් වීම පාලනය සඳහා සාර්ථක පියවරක් නොගතහොත් එ් නිසාම යුරෝපයට පැමිණිය හැකි සරණාගතයන්ගේ ගණනය. එ් අනුව, ලෝකයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 2.6-4.8 අතර උෂ්ණත්ව වර්ධනයක් ඇති වෙතැයි අපේක්ෂිත 2100 වර්ෂය වන විට තවත් 660,000ක් පමණ අතිරේක සරණාගත පිරිසක් වාර්ෂිකව යුරෝපයට පැමිණිය හැකිය. එය 188%ක වර්ධනයකි. එමෙන්ම දේශගුණ වෙනස් වීම පාලනය කිරීමට ගන්නා පියවර සාර්ථක වුවද මෙම සංක‍්‍රමණිකයන්ගේ ගණන අවම වශයෙන් 98,000කින් හෙවත් 28%කින් පමණ ඉහළ යා හැකිය.

මූලාශ‍්‍රය: Science, DOI: 10.1126/science.aao0432

No comments:

Post a Comment