Tuesday, July 31, 2018

ඉහළ යන මුහුදු මට්ටමේ ආර්ථික බලපෑම

ජගත් පරිසර පුවත් 271 - 11.07.2018


ධනේෂ් විසුම්පෙරුම
විදුසර, 11.07.2018, පි. 3 (Vidusara)



2100 වන විට මුහුදු මට්ටම ඉහළ යෑමෙන් ඇති වන ජලගැලීම් හේතුවෙන් ඇති විය හැකි හානියේ ආර්ථික අගය වාර්ෂිකව ඩොලර් ටි‍්‍රලියන 14ක් පමණ විය හැකි බව අධ්‍යයනයකින් පෙන්වාදී තිබේ. එ් ලෝකයේ උෂ්ණත්වය ඉහළ යෑම පූර්ව කාර්මික අවධියට වඩා අංශක දෙකක සීමා කළ නොහැකි වුවහොත්ය.

මෙම අධ්‍යයනයේදී සිදුකර ඇත්තේ උෂ්ණත්වය ඉහළ යෑම අංශක 1.5 හා අංශක 2 සිමාවේ පවත්වා ගතහොත් හා කිසිදු වළක්වාගැනීමේ තත්ත්වයක් නොමැති සංසිද්ධියකදී ඇති විය හැකි මුහුදු මට්ටම ඉහළ යෑමෙහි බලපෑම් සංසන්දනය කිරීමයි. ඒ අනුව 2100 වර්ෂය වන විට අංශක 1.5ක උෂ්ණත්ව ඉහළ යෑමකදී සෙන්ටිමීටර් 52කින්ද, අංශක 2ක් සඳහා සෙ.මී. 63කින්ද මුහුදු මට්ටම ඉහළ යා හැකි බව අනාවරණය වී ඇත. එසේම අංශක 2 ඉලක්කය අත්පත්කරගත නොහැකි වුවහොත්, මුහුදු මට්ටම මීටර් 0.86ක මධ්‍යන්‍ය අගයකින් ඉහළ යා හැකිය. එවැනි අවස්ථාවකදී වාර්ෂික හානිය ඩොලර් ටි‍්‍රලියන 14ක් පමණ විය හැකිය. එසේම මුහුදු මට්ටම උපරිම වශයෙන් මීටර් 1.8ක් ඉහළ යා හැකි අතර, එවිට ඇති වන වාර්ෂික හානිය ඩොලර් ටි‍්‍රලියන 27ක් පමණ වනු ඇත.

ජලගැලීම් නිසා වැඩිම වියදමක් දැරීමට සිදුවන්නේ ඉහළ මධ්‍යම මට්ටමේ ආදායම් ලබන රටවලට බවද මෙහිදී හෙළි වී තිබෙයි. නිදසුනක් ලෙස චීනය දැක්විය හැකිය. එසේම, ඉහළ ආදායම ලබන රටවල් මෙමගින් අඩු බලපෑමකට ලක්වන රටවල් අතර වෙයි. එයට හේතු වන්නේ මෙවැනි ජලගැලීම්වලින් ආරක්ෂා වීම සඳහා අවශ්‍ය කරන යටිතල පහසුකම් එ් රටවල පැවතීමයි. ලෝක ජනගහනයෙන් මිලියන 660ක පමණ පිරිසක් අඩු උන්නතාංශයක් සහිත වෙරළබඩ ප‍්‍රදේශවල හෙවත් මුහුදු මට්ටමේ සිට මීටර් 10ක සීමාවේ, වාසය කරති. දේශගුණ වෙනස් වීමත් සමඟ ඇතිවන ග්ලැසියර හා අයිස් තට්ටු දියවීමත් සමඟ හා සාගර ජලයේ තාප ප‍්‍රසාරණය සමඟ මුහුදු මට්ටම ඉහළ යෑම සිදු වෙයි. මේ හේතුව නිසා මුහුදු මට්ටම ඉහළ යෑම වඩාත් බරපතළ විපාක ඇති කළ හැකි සිදුවීමකි. (මූලාශ‍්‍රය: Environmental Research Letters, DOI: 10.1088/1748-9326/aacc76)

මීමැස්සන් අඩුවීමට දේශගුණ වෙනස්වීමත් හේතුවක්

ජගත් පරිසර පුවත් 270 - 04.07.2018


ධනේෂ් විසුම්පෙරුම
විදුසර, 04.07.2018, පි. 3 (Vidusara)



ප‍්‍රාදේශීය වශයෙන් මී මැසි ගහන අඩුවීමට දේශගුණ වෙනස් වීමත් එක හේතුවක් විය හැකි බව අධ්‍යයනයක් මගින් පෙන්වාදී තිබෙයි. ඇරිසෝනා ප‍්‍රාන්තයේ සිදුකර ඇති මෙම අධ්‍යයනයට අනුව ස්වාභාවිකව උණුසුම් තත්ත්ව පවත්නා ප‍්‍රදේශවල මෙවැනි තත්ත්ව ඇති වීමට අවස්ථාව ඇත.

බටහිර ඇමරිකාවේ හා මෙක්සිකෝවේ දැකිය හැකි Osmia ribifloris නම් මීමැසි විශේෂයක් සම්බන්ධව සිදුකර ඇති මෙම අධ්‍යයනයේදී අනාගතයේ දී (2040 සිට 2099 දක්වා වූ කාලයේදී) ඇති විය හැකි යැයි අපේක්ෂිත උණුසුම් දේශගුණ තත්ත්වයක් හා සමාන තත්ත්වයක් මී වදවලට ලබාදී ඇත. එ් සඳහා යොදාගෙන ඇත්තේ මී වද පෙට්ටි වෙනස් වර්ණවලින් පාට කිරීමේ ක‍්‍රමයකි. එහිදී පෙනී ගොස් ඇති ආකාරයට පළමු වර්ෂය තුළ වසරේ මීමැස්සන්ගෙන් 35%ක් පමණ මියගොස් ඇති අතර, දෙවැනි වර්ෂයේදී 70%ක් පමණ ප‍්‍රමාණයක් මියගොස් තිබෙයි. සමස්තයක් ලෙස 30%-75% අතර මරණ අනුපාතිකයක් පෙන්වා තිබේ. එහෙත් පාලකය ලෙස යොදාගත් මී වදවල දැකිය හැකි වී ඇත්තේ 1%-2% අතර වූ මරණ අනුපාතිකයකි. මේ අනුව ඉහළ උෂ්ණත්වයක් යටතේ මී මැසි ගහනවල අඩුවීමක් දැකිය හැකි බව පැහැදිලිය. මේ අනුව ඇති විය හැකි ප‍්‍රාදේශීය ගහන බිඳවැටීමකට මේ තත්ත්වය හේතු විය හැකිය.

මේ අනුව අධික උෂ්ණත්වය මී මැස්සන්ගේ දේහවල දරාගැනීමේ හැකියාවේ උපරිමයට ළ`ගා වීමක් සිදුවන බව පැහැදිලිය. එහි ප‍්‍රතිඵලයක් ලෙස අදාළ විශේෂයේ වඩා උණුසුම් ප‍්‍රදේශවල වාසය කරන ගහනවල අඩුවීම් දැකිය හැකි වෙතැයි අපේක්ෂා කරන බව පර්යේෂකයන්ගේ අදහස වෙයි. මී මැස්සන් වැදගත් වන්නේ පරාගණකාරකයන් ලෙසය. මෙහි ඇති වදැගත්කම හුදෙක් භෝගවගාවලට පමණක් සිමා වන්නේ නැත. එය වන මල් මෙන්ම සෙසු ජෛව විවිධත්වයටද වැදගත් වන්නකි. මේ නිසා මීමැස්සන්ට වන බලපෑම් පිළිබඳව අවධානය යොමු කිරීම වැදගත් බව පැහැදිලිය. (මූලාශ‍්‍රය: Functional Ecology, DOI: 10.1111/1365-2435.13151)

ඞීප් වෝටර් හොරයිසන් හානියේ තරම

ජගත් පරිසර පුවත් 270 - 04.07.2018


ධනේෂ් විසුම්පෙරුම
විදුසර, 04.07.2018, පි. 3 (Vidusara)



2010 වර්ෂයේදී සිදු වූ ඞීප් වෝටර් හොරයිසන් තෙල් ළිං අනතුර නිසා ඇති වූ බලපෑම සම්බන්ධව වාර්තාවක් පසුගියදා නිකුත් වී ඇත. එ් අනුව එම අනතුරෙන් මෙක්සිකෝ බොක්ක ප‍්‍රදේශයේ කුඩා ජීවියා ඇතුළුව ජෛව විවිධත්වයට සැලකිය යුතු බලපෑමක් සිදු වී තිබෙයි.

තෙල් බැරල් මිලියක 4ක් පමණ ප‍්‍රමාණක් මෙක්සිකෝ බොක්කට නිකුත් වූ 2010 අපේ‍්‍රල් මාසයේ සිදු වූ එම තෙල් ළිං අනතුරෙන් එකොළොස් දෙනෙකු පමණ මියගිය බවද වාර්තා විය. මේ අනුව එහි බලපෑමෙන් එම ස්ථානයට ආසන්න ප‍්‍රදේශවල ජෛව විවිධත්වයට බරපතළ බලපෑමක් ඇති වී තිබෙන බව අනාවරණය වී ඇත. මේ ප‍්‍රදේශයේ කිලෝමීටර් 150ක් පමණ දුර සීමාවේ දැකිය හැකි ගිලී ගිය නෞකා හතක් ආශ‍්‍රිතවලබාගත් සාම්පල අධ්‍යයනයේදී පර්යේෂකයන්ට පෙනීගොස් ඇත්තේ එ්වායේ ක්ෂුද්‍ර ජීවී ජෛව විවිධත්වය අහිමි වී ඇති බවයි. එ්වායේ දැකිය හැකි වී ඇත්තේ ක්ෂුද්‍රජීවී විශේෂ කිහිපයක් පමණකි. සාගරයේ ගිලී ගොස් ඇති නෞකා පිළිබඳ හෙළි වන මේ තත්ත්වය හේතුවෙන් මෙම තෙල් කාන්දුවේ බලපෑම අවසන් වී ඇති බවත්, එයට පිළියම් සිදු වී ඇති බවත් සිතීමට තවමත් කල් වැඩි බව මේ පර්යේෂකයන්ගේ අදහසයි.

මෙම වාර්තාව නිකුත් වී ඇත්තේ ඇමරිකකාවේ හා ප‍්‍රදේශයේ සාගරය තවදුරටත් අනතුරුදායක තත්ත්වයකට පත්ව තිබියදී බව විචාරකයන්ගේ මතය වෙයි. එයට හේතුව වන්නේ වර්තමාන ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප්ගේ ප‍්‍රතිපත්ති නිසාය. තෙල් ළිං පිළිබඳව පෙර පරිපාලනය විසින් ගෙන තිබූ දැඩි නීති ලිහිල් කිරීමට හා එ් පිළිබඳ බලතල ප‍්‍රාන්ත ආණ්ඩුවලට පවරාදීමට ට‍්‍රම්ප් පාලනය යටතේ මේ වන විට පියවර ගනිමින් තිබෙයි. මෙය අදාළ කර්මාන්තයේ සතුටට හේතු වී ඇති අතරම, සංරක්ෂණවේදීන්ගේ නොසතුටටද හේතු වී ඇත. (මූලාශ‍්‍රය: Scientific Reports, DOI: 10.1038/s41598-018-27350-z)

Monday, July 30, 2018

ජලජ ක්ෂීරපායින් ඇම සඳහා යොදාගැනීම පුළුල්ව සිදුකරන්නක්

ජගත් පරිසර පුවත් 267 - 13.06.2018


ධනේෂ් විසුම්පෙරුම
විදුසර, 13.06.2018, පි. 3 (Vidusara)



ජලජ ක්ෂීරපායින් වන ඩොල්පින්, මුහුදු සිංහයන්, සීල් සතුන් හා දියබල්ලන් වැනි සතුන් යනු ලෝකයේ බොහෝ රටවල දඩයම් කිරීමට තහනම් කර ඇති ආරක්ෂිත සත්ත්ව විශේෂය. එයට මූලික හේතුව වන්නේ මේ සතුන් තර්ජනයට ලක්ව ඇති සත්ත්ව විශේෂ වීමයි. එහෙත් මේ සතුන් මුහුණ පා ඇති මෙතෙක් අනාවරණය නොවූ ආකාරයක තර්ජනයක් පිළිබඳව පසුගියදා පළ වූ පර්යේෂණ වාර්තාවකින් අනාවරණය වී ඇත.

මසුන් ඇල්ලීමේදී ඇම සඳහා යොදාගැනීම සඳහා මෙම සාගර ක්ෂීරපායී සතුන් මරා දැමීම මෙම තර්ජනයයි. 1970 වර්ෂයේ සිට ඇති තොරතුරු අනුව රටවල් 33ක ජලජ ක්ෂීරපායි සත්ත්ව විශේෂ 42ක් පමණ ප‍්‍රමාණයක් ඇම සඳහා යොදාගැනීම සිදුකරන බව මෙහිදී හෙළි වී ඇත. මේ අතරින් 80%ක් පමණ ප‍්‍රමාණක් උවමනාවෙන්ම මරා දැමීම කණගාටුදායක කරුණක් වෙයි. නිදසුනක් ලෙස ගතහොත් මෝරුන් දඩයම් කිරීම සඳහා යොදාගැනීමට ඩොල්පින් වැනි ක්ෂීරපායි සතුන් මරා දැමීම දැක්විය හැකිය.

මේ ආකාරයෙන් ජලජ ක්ෂිරපායි සතුන් මරා දැමීම ලෝකය පුරා සිදුකරනු ලබන අතර එය වඩාත් පුළුල් ලෙස දැකිය හැක්කේ දකුණු ඇමරිකානු රටවල් හා ආසියානු රටවලය. එසේම මිරිදියේ මෙන්ම කරදියේද වාසය කරන කිෂීරපායි සතුන් මේ අවාසනාවන්ත තත්ත්වයට ලක්ව ඇත.

මෙහි ඇති විශේෂිත කරුණ වන්නේ මේ නිසා එම සතුන්ට ඇති වන බලපෑම සම්බන්ධව ඇත්තේ අඩු තොරතුරු ප‍්‍රමාණයක් වීමය. නිදසුනක් ලෙස ගතහොත් එසේ මරා දමනු ලබන ක්ෂිරපායි සතුන්ගේ ගහනවල තත්ත්වය පිළිබඳව තොරතුරු වාර්තාගත වී නොමැති තරම්ය. කෙසේ වෙතත් මේ පිළිබඳව ලැබී ඇති තොරතුරු අනුව මෙම පිළිවෙත තිරසර එකක් නොවන බව හා ගහනවල අඩුවීමක් ඇතිවීමට හේතු විය හැකි බව මෙහිදී පෙන්වාදී ඇත. එබැවින් මෙතෙක් අවධානයක් යොමු වී නොමැති මෙම අංශය සම්බන්ධවද සිදුකරනු ලබන නිරීක්ෂණය ඉහළ නැංවීම වැදගත් බව මේ පර්යේෂකයන්ගේ අදහස වෙයි. (මූලාශ‍්‍රය: Frontiers in Marine Science, DOI: 10.3389/fmars.2018.00191)

ඇන්ටාක්ටිකාවත් ප්ලාස්ටික් නිසා දූෂණයට

ජගත් පරිසර පුවත් 267 - 13.06.2018


ධනේෂ් විසුම්පෙරුම
විදුසර, 13.06.2018, පි. 3 (Vidusara)



මෙම වර්ෂය මුලදී ඇන්ටාක්ටිකා මහාද්වීපයෙන් ලබාගත් හිම හා ජල නියැදි පිළිබඳව සිදුකරන ලද අධ්‍යයනවලින් ප්ලාස්ටික් හා හානිකර රසායනික ද්‍රව්‍ය හමු වී ඇතැයි වාර්තා වෙයි. ග‍්‍රීන්පීස් සංවිධානය විසින් සිදු කර ඇති මෙම අධ්‍යයනය අනුව මෙතෙක් ප්ලාස්ටික් මගින් දූෂණයට ලක් වී නොතිබුණු අවසන් ස්වාභාවික පරිසර පද්ධතියද ප්ලාස්ටික් මගින් දූෂණයට ලක්වෙමින් ඇති බව මේ අනුව පෙනෙයි. එමගින් පෙනෙන්නේ ලෝකය පුරා ව්‍යාප්තව ඇති ප්ලාස්ටික් පරිසර දූෂණයේ තරමයි.

2018 වර්ෂයේ ජනවාරි සිට මාර්තු දක්වා වූ කාලයේදී ග‍්‍රීන් පීස් සංවිධානයේ ආක්ටික් සන්රයිස් නම් යාත‍්‍රාව යොදාගනිමින් සිදුකරන ලද මෙම ගවේෂණයේදී ඇන්ටාක්ටික් මහාද්වීපයේ හුදකලා ප‍්‍රදේශවලින් හිම හා සාගර ප‍්‍රදේශවලින් ජල නියැදි ලබාගෙන ඇත. එම නියැදි විශ්ලේෂණයේදී පෙනී ගොස් ඇත්තේ එ්වායින් බහුතරයක් තුළ දිගුකල් පවත්නා උපද්‍රවකාරී රසායන ද්‍රව්‍ය හෝ ක්ෂුද්‍රප්ලාස්ටික් ඇතුළත් වන බවයි. ලබාගත් සාගර ජල නියැදි අටකින් හතකම ක්ෂුද්‍ර ප්ලාස්ටික් ඇතුළත් වී තිබූ අතර, හිම නියැදි නවයකින් හතකම දිගුකල් පවත්නා උපද්‍රවකාරී රසායන ද්‍රව්‍ය (persistent hazardous chemicals) ඇතුළත් වී ඇත.

උක්ත ද්‍රව්‍ය මිනිසුන් විසින් නිෂ්පාදනය කරනු ලැබ පරිසරයට එකතු කරනු ලබන ද්‍රව්‍ය වෙයි. මෙම අධ්‍යයනයෙන් පෙනී යන පරිදි ඇන්ටාක්ටිකාව වැනි පරිසර පද්ධතියක්ද මෙම මානව මූලික පරිසර දූෂණයෙන් නිදහස් වී නොමැත. එමෙන්ම ජගත් මට්ටමින් ප්ලාස්ටික් හා උපද්‍රවකාරී රසායන ද්‍රව්‍ය මගින් ඇති වී තිබෙන හානියේ තරම මෙමගින් තවදුරටත් තහවුරු වෙයි. එසේම මෙවැනි නොඉඳුල් පරිසර පද්ධතියක් ආරක්ෂා කරගැනීම සඳහා කටයුතු කිරීමේ ඇති වැදගත්කමද පැහැදිලිය. මේ වන විට වර්ග කිලෝමීටර් මිලියන 1.8ක විශාලත්වයකින් යුක්ත අභය භූමියක් ඇන්ටාක්ටික් සාගර කලාපයේ ප‍්‍රකාශයට පත්කිරීම සඳහා සාකච්ඡුා පැවැත්වෙමින් තිබෙයි. මේ වර්ෂයේ ඔක්තෝබර් මාසයේදී ඇන්ටාක්ටික් සාගර කොමිසම මගින් මේ පිළිබඳව තීරණයක් ගැනීමට නියමිතව ඇති බව පැවසෙයි. (මූලාශ‍්‍රය: Microplastics and persistent fluorinated chemicals in the Antarctic, www.greenpeace.org)

මස් සහ කිරි අත්හැරීම පරිසර බලපෑම අඩු කළ හැකි හොඳම ක‍්‍රමයයි

ජගත් පරිසර පුවත් 266 - 06.06.2018


ධනේෂ් විසුම්පෙරුම
විදුසර, 06.06.2018, පි. 3 (Vidusara)



මස් නිෂ්පාදන හා කිරි නිෂ්පාදනවලින් වැළැකීම මිනිසුන්ගෙන් මිහිතලයට ඇති වන බලපෑම අඩුකිරීම සඳහා ගත හැකි ප‍්‍රබලතම පියවර බව පශුපාලනය පිළිබඳව මෙතෙක් කලක් සිදුකර ඇති සවිස්තරම විශ්ලේෂණයක් මගින් පෙන්වාදී තිබෙයි.

එගින් අනාවරණය කර ඇති ආකාරයට මස් හා කිරි නිෂ්පාදනය මගින් සැපයෙන්නේ මිනිස් කැලරි අවශ්‍යතාවයෙන් 18%ක් හා ප්‍රෝටින අවශ්‍යතාවයෙන් 37%ක් පමණකි. එහෙත් එ් සඳහා ගොවිබිම්වලින් 83%ක් භාවිත වන අතර, කෘෂිකර්මයේ සමස්ත හරිතාගාර වායු විමෝචනවලින් 58%ක් නිකුත් වන්නේ මස් හා කිරි නිෂ්පාදන නිපදවීමේදීය. සමස්ත ජලදූෂණයෙන් 57%කට හේතුවන්නේද මේ අංශයයි. මිරිදිය අතරින් 33%ක් පමණ ලබා ගන්නේද මේ අංශය සඳහාය. එසේම අවම බලපෑමක් සිදුකරන මස් හා කිරි නිෂ්පාදන මගින් පවා සිදුවන බලපෑම අඩුම තිරසර භාවයක් සහිත එළවළු හා ධාන්‍ය වගාවලට වඩා වැඩි බලපෑමක් බව පෙන්වා දී ඇත. එසේම එකම නිෂ්පාදනයක වුවද බලපෑම වෙනස් විය හැකිය. නිදසුනක් ලෙස ගත් විට ස්වාභාවික තණබිම්වලින් පෝෂණය වන ගවයින්ට වඩා, එළිකරන ලද වනබිම්වල ඇතිකරන ගවයින්ගේ හරිතාගාර වායු විමෝචන 12 ගුණයකින් අධික වන අතර, භාවිත වන බිම් ප‍්‍රමාණයද 50 ගුණයක් පමණ අධිකය.

මෙම අධ්‍යයනය රටවල් 119ක ගොවිපළ 38,700ක් පිළිබඳ දත්ත යොදාගනිමින් සිදුකරන ලද්දකි. එහිදී ආහාරයට ගනු ලබන නිෂ්පාදන අතරින් 90%ක් නිරූපණය වන ආහාර වර්ග 40ක් පමණ ආවරණය වෙයි. මෙහිදී අදාළ ආහාරයේ සමස්ත බලපෑම විමසා බලා ඇති අතර එහිදී ගොවිබිමේ සිට අනුභවය දක්වාද, භූමි භාවිතයද, හරිතාගාර වායු විමෝචනද, මිරිදිය භාවිතය, ජල දූෂණය (සුපෝෂණය ඇතිවීමෙන්) හා වායු දූෂණය (ආම්ලිකකරණයෙන්) වැනි කරුණු දක්වාද කරුණු සොයා ඇත.

මේ පිළිබඳව සැලකීමේදී අදාළ ආහාරවල ඇති පාරිසරික බලපෑම පිළිබඳව ලේබල් කිරීමක් සිදුකිරීම මගින් පාරිභෝගිකයාට එ් පිළිබඳව තීරණය කිරීමට සැලැස්වීමට හැකි බව මේ පර්යේෂකයන්ගේ අදහස වෙයි. (මූලාශ‍්‍රය: Science, DOI: 10.1126/science.aaq0216)

ජපාන තල්මහ දඩයම යළිත් අවධානයට

ජගත් පරිසර පුවත් 266 - 06.06.2018


ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 06.06.2018, පි. 3 (Vidusara)



ජපානය වාර්ෂිකව දකුණු මුහුදේ සිදුකරන තල්මහ දඩයම පසුගිය සතියේ යළිත් අවධානයට ලක්විය. එ් 2017/2018 දඩයම් සමයේදී සිදු වූතල්මහ දඩයම පිළිබඳව වාර්තාවක ඇතුළත් කරුණු හෙළිවීම සමඟය.

එම වාර්තාවට අනුව 2017 නොවැම්බර් මාසයේ ජපානයෙන් නික්ම ගිය යාත‍්‍රා මගින් මේ දඩයම් සමයේදී මින්කි තල්මහ සතුන් 333ක් මරාදමා ඇත. මෙසේ මරා දැමූ මින්කි තල්මහ සතුන් අතරින් පිරිමි සතුන් 152ක් හා ගැහැණු සතුන් 181 ක් පමණ වේ. මේ ගැහැණු සතුන් අතරින් 122ක්ම ගැබිණි සතුන් බව මෙම වාර්තාව මගින් හෙළි කරන ලද තවත් විශේෂිත කරුණකි. එසේම මෙම පිරිමි සතුන් 61ක් හා ගැහැණු සතුන් 53ක් පමණ දෙනා තවමක් පරිණත නොවූ සතුන් බවද වාර්තාවෙහි සඳහන් වෙයි.

වාණිජ වශයෙන් සිදුකරන තල්මහ දඩයම ජාත්‍යන්තර තල්මහ කොමිසම මගින් 1985 වර්ෂයේ සිට තහනම් කර තිබුනද ජපානය මෙම වාර්ෂික දඩයම සිදුකරනු ලබන්නේ විද්‍යාත්මක පර්යේෂණ සඳහා ඇති අවස්ථාව යොදාගනිමිනි. මේ පිළිබඳව ඇතැම් රටවල් හා සංවිධාන හෙලාදැක ඇති අතර, 2014 වර්ෂයේදී සතුන් මරා දමමින් සිදුකරන පර්යේෂණවලට එරෙහිව එක්සත් ජාතීන්ගේ තීරණයක්ද තිබෙයි. එහෙත් මරා දමනු ලබන සතුන්ගේ ප‍්‍රමාණය තුනෙන් එකකින් අඩු කළ ජපානය වසර දෙකකට පසුව යළිත් තල්මහ දඩයමේ යෙදීම ආරම්භ කළේය.

මේ ආකාරයෙන් අල්ලාගනු ලබන තල්මහ සතුන්ගේ මස් පසුව ජපානයේදී අලෙවි කරනු ලැබේ. අතීතයේ සිටම තල්මහ මස් ජපානයේ ආහාරයක් ලෙස ගෙන ඇතත් ජපානය ඇන්ටාක්ටික් ප‍්‍රදේශයේ තල්මහ දඩයම සඳහා යොමුවන්නේ දෙවන ලෝක සංග‍්‍රාමයෙන් පසුව ඇති වූ ආහාර අවශ්‍යතාවය සමඟ බව සඳහන් වෙයි. එහෙත් අද වන විට තල්මහ මස් එරට තුළද එතරම් ජනප‍්‍රිය ආහාරයක් නොවේ.

ජපානය හැරුණු විට මේ ආකාරයෙන් තල්මහ දඩයම් කරනු ලබන සෙසු රටවල් වන්නේ නෝර්වේ හා අයිස්ලන්තයයි. තවත් රටවල් කිහිපයක ආදිවාසින්ගේ අවශ්‍යතා සඳහා සීමිත තල්මහ දඩයම් කිරීමක් සඳහා අවසර ලැබී තිබෙයි.