Monday, August 1, 2016

ආසියානු නගරවල වායු දූෂණය පාලනයට ගැටලූ - පරිසර පුවත් 008 (10.04.2013)

ධනේෂ් විසුම්පෙරුම

 

විදුසර, 10.04.2013

Vidusara - World Environmental News (10.04.2013)

ආසියානු නගරවල වායු දූෂණය පාලනයට ගැටලූ


බොහෝ දියුණු රටවල් කලකට පෙර අම්ල වැසි වැනි තත්ත්වවලින් පීඩා විඳි නමුත් එ් රටවල ප‍්‍රධාන නගරවල වායු දූෂණය මේ වන විට බෙහෙවින් අඩු වී ඇත. ඊට හේතුව වසර තිහකට පමණ පෙර සිට අදාළ රටවල පිරිසිදු වාතය හා සම්බන්ධ නීති රීති ක‍්‍රියාත්මක වීමයි. එහෙත් ආසියානු රටවල විශාල නගරවල තත්ත්වය මීට වඩා වෙනස්ය. එ් නගරවල වායු දූෂණය තවමත් ඉහළ වන අතර අම්ල වැසි ඇතිවීමද ඉහළ යමින් තිබේ.

මේ තත්ත්වය පෙන්වා දෙන්නේ ඇමරිකාවේ තත්ත්වය හා නැගෙනහිර ආසියානු කලාපයේ රටවල නාගරික ප‍්‍රදේශවල තත්ත්වය පිළිබඳව සිදුකරන ලද අධ්‍යයනයකිනි. නැගෙනහිර ආසියානු රටවල මේ තත්ත්වය සඳහා හේතු වී ඇත්තේ වායු දූෂණය වැළැක්වීම සඳහා ක‍්‍රියාත්මක වන නීති ප‍්‍රමාණවත් නොවීමත් පවත්නා නීති නිසි ආකාරයෙන් ක‍්‍රියාත්මක නොවීමත් බව පෙන්වාදී ඇත. අවාසනාවකට මෙන් මේ තත්ත්වය දියුණුවන රටවල් අතර බෙහෙවින් දැකිය හැකි තත්ත්වයකි.

(මූලාශ‍්‍රය: Atmospheric Environment, DOI: 10.1016/j.atmosenv.2013.01.033)

දේශගුණ වෙනස්වීමෙන් ජයගන්නා පෙන්ගුවින් විශේෂයක් - පරිසර පුවත් 008 (10.04.2013)

ධනේෂ් විසුම්පෙරුම

 

විදුසර, 10.04.2013

Vidusara - World Environmental News (10.04.2013)

දේශගුණ වෙනස්වීමෙන් ජයගන්නා පෙන්ගුවින් විශේෂයක්

 

ධ‍්‍රැව ප‍්‍රදේශවල ජීවත්වන සත්ත්ව විශේෂ රැුසකට දේශගුණ වෙනස්වීම අහිතකර සේ බලපායි. එහෙත් එක් පෙන්ගුවින් විශේෂයකට එය ඊට වඩා වෙනස් බලපාන බව පසුගියදා වාර්තා විය. එ් අඩෙලි පෙන්ගුවින් නම්න් හැඳින්වෙන Pygoscelis adeliae නම් පෙන්ගුවින් විශේෂයයි.

මේ බව හෙළි වී ඇත්තේ 1958 සිට 2010 කාලය දක්වා කාලයේදී ඇන්ටාක්ටිකාවේ එක් ඇඩෙලි පෙන්ගුවින් ගහනයක බිත්තර දැමීමට හැකි ප‍්‍රදේශවල වෙනස්වීම හා ගහනයේ ප‍්‍රමාණය පිළිබඳව සිදුකළ අධ්‍යයනයකිනි. මේ කාලය අතර මේ ප‍්‍රදේශයේ අයිස් ක්ෂේත‍්‍රය අඩුවී ගොස් ඇති අතර අයිස්වලින් වටවූ විවෘත ජලය සහිත ප‍්‍රදේශ (පොලිනියා - Polynya) ඉහළ ගොස් ඇත. එසේම 1980 දශකයේ සිට මේ ප‍්‍රදේශයේ උෂ්ණත්වය දශකයකට සෙල්සියස් අංශක 0.5කින් පමණ ඉහළ ගොස් ඇත.

කෙසේ වෙතත් ඇඩෙලි පෙන්ගුවින් ගහනය 84%කින් ඉහළ ගොස් ඇති අතර ඔවුන්ට යෝග්‍ය වාසස්ථාන ප‍්‍රදේශය 71%කින්ද වර්ධනය වී ඇත. කැපීපෙනෙන වර්ධනයක් සිදුව ඇත්තේ 1980 දශකයෙන් පසුව වීම විශේෂයකි. ඉදිරියේදී ඇන්ටාක්ටිකාවේ වෙනත් ප‍්‍රදේශවලද මේ පෙන්ගවින් විශේෂයට යහපත් තත්ත්ව ඇතිවීමේ අවස්ථාවක් තිබේ. 

(මූලාශ‍්‍රය: PLoS ONE, DOI: 10.1371/journal.pone.0060568)

ගව මස් හා සෝයා අපනයනය නිසා වැනසෙන ඇමසන් වනය - පරිසර පුවත් 008 (10.04.2013)

ධනේෂ් විසුම්පෙරුම

 

විදුසර, 10.04.2013

Vidusara - World Environmental News (10.04.2013)

ගව මස් හා සෝයා අපනයනය නිසා වැනසෙන ඇමසන් වනය


බ‍්‍රසීලයේ පිහිටි ලෝකයේ විශාලතම වනාන්තරයක් වන ඇමසන් වනාන්තරය හෙළි වීම ජගත් මට්ටමින් සාකච්ඡුාවට ලක්ව ඇති පාරිසරික ගැටලූවකි. මේ විනාශයට බලපාන ප‍්‍රධාන හේතු අතර ඇති ගවමස් හා සෝයා බෝංචි පරිභෝජනය බව පෙන්වා දෙන අධ්‍යයනයක් ඉන් කොටසක් සඳහා ජගත් මට්ටමින් වගකිව යුතු බවද පෙන්වාදී තිබේ.

1990-2012 අතර කාලයේ බ‍්‍රසීලයේ ඇමසන් වනාන්තරයේ වන විනාශය නිසා නිකුත් වී ඇති හරිතාගාර වායු විමෝචන හා ඊට බලපා ඇති ප‍්‍රධාන සාධක දෙකක් වන ගව පාලනයේ හා සෝයා වගාවේ තරම සම්බන්ධ කිරීමෙන් මේ අපූරු පර්යේෂණය සිදුකර ඇත. එ් අනුව මෑත කාලයේදී මේ ද්‍රව්‍ය පරිභෝජනය හා අපනයනය ඉහළ ගොස් ඇත.

ගව මස් මෙන්ම සෝයාවල වැඩි පරිභෝජනයක් සිදුවන්නේ බ‍්‍රසීලය තුළ වන නිසා ඊට වැඩි වගකීමක් ඇත්තේ බ‍්‍රසීලයේම බව පෙනේ. එහෙත් ඉන් කොටසක් අපනයනය කරන බැවින් මේ වායු විමෝචන අතරින් කොටසකට ලෝකයේ සෙසු රටවලද යම් වගකීමක් තිබේ. බ‍්‍රසීල වන විනාශයෙන් නිකුත්වන විමෝචනවලින් 30%ක් බ‍්‍රසීලයෙන් අපනයනය කරන ද්‍රව්‍ය නිසා නිකත් වේ. ඉන් 19%ක් සෝයා බෝංචි නිසා වන අතර 71%ක් පමණ ගව පාලනය මගින් විමෝචනය වේ. දිනෙන් දින මේ අපනයන ඉහළ යන අතර, යුරෝපා වෙළෙඳපොළට වඩා වැඩි සෝයා හා ගවමස් ප‍්‍රමාණයක් ආසියාවට අපනයනය කෙරේ. එ් චීනයේ හා රුසියාවේ පරිභෝජනය නිසාය.

මේ අනුව පෙනෙන තවත් කරුණක් වන්නේ ජාත්‍යන්තර වෙළෙඳාම නිසා ඇමසන් වනාන්තරය සංරක්ෂණ කිරීමට ක‍්‍රියාත්මක වන ජගත් මට්ටමේ වැඩසටහන්වල ඵලදායී බව අවතක්සේරු කරන බවය.

(මූලාශ‍්‍රය: Environmental Research Letters, DOI: 10.1088/1748-9326/8/2/024005)

Monday, June 27, 2016

අප‍්‍රිකාවේ වනගත අලි මරා දමා ඇති තරම - පරිසර පුවත් 007 (03.04.2013)


ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 03.04.2013

Vidusara - World Environmental News (03.04.2013)

අප‍්‍රිකාවේ වනගත අලි මරා දමා ඇති තරම


මධ්‍යම අප‍්‍රිකාවේ වාසය කරන වනගත අලි අතරින් 62%ක් පමණ ප‍්‍රමාණයක් පසුගිය දශකයක කාලය ඇතුළත මරා දමා තිබේ. එ් ප‍්‍රධාන වශයෙන් ඔවුන්ගේ දළ ලබා ගැනීම සඳහාය. මේ බව පෙන්වා දෙන්නේ 2002-2011 අතර කාලයේදී මේ පිළිබඳව සිදුකරන ලද අධ්‍යයන ආශ‍්‍රයෙන් සිදුකර ඇති පර්යේෂණක වාර්තාවකි.
වනගත අලින් පිළිබඳව සිදුකර ඇති විශාලතම අධ්‍යයනය සේ සැලකෙන මේ අධ්‍යයනයේදී අදින් දශකයකට පමණ පෙර අලි ඇතුන් වාසය කළ ප‍්‍රදේශයෙන් තුනෙන් එකක් පමණ ප‍්‍රදේශයක් තවදුරටත් අලින්ට වාසය කිරීමට තරම් ආරක්ෂිත තත්ත්වයක නොමැති බව පෙනී ගොස් ඇත. විශේෂයෙන් අප‍්‍රිකාවේ වනගත අලි විශේෂය මිනිසුන් අධික, මාර්ග අධික ප‍්‍රදේශවල වාසය නොකරයි. අප‍්‍රිකාවේ වෙසෙන මේ වනගත අලියා (Loxodonta. cyclotis) සැවනා අලියාගෙන් (Loxodonta africana) වෙනස් වූ විශේෂයක් සේ වැඩි පිළිගැනීමකට ලක්ව ඇත.

මේ අනුව පෙනෙන තවත් වැදගත් කරුණක් වන්නේ මේ අප‍්‍රිකානු වනගත අලියා ආරක්ෂා කර ගැනීම සඳහා ඉක්මනින් උත්සාහ ගත යුතු බවය. එවැනි උත්සාහයක් ජගත් මට්ටමේ විය යුතුය. එනම්, අලි-ඇතුන් වාසය කරන රටවල් මෙන්ම, ඇත් දළ භාවිත කරන රටවල් මෙන්ම නීති විරෝධී ලෙස ඇත් දළ ප‍්‍රවාහනය කරන ගමන් මාර්ගයේ පිහිටි රටවල් අතර වැඩි සම්බන්ධීකරණයකින් යුක්ත වූ වැඩසටහනක් අවශ්‍යව ඇති බව පැහැදිලිය. (මූලාශ‍්‍රය: PLoS ONE, DOI: 10.1371/journal.pone.0059469)

මීමැස්සන්ට බලපෑම් කරන රසායන ද්‍රව්‍ය - පරිසර පුවත් 007 (03.04.2013)

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 03.04.2013

Vidusara - World Environmental News (03.04.2013)


මීමැස්සන්ට බලපෑම් කරන රසායන ද්‍රව්‍ය

ලෝකයේ රටවල් රැුසක මීමැසි ගහන අඩුවීම කලක පටන් අවධානයට ලක්ව ඇති කරුණකි. මේ සඳහා බලපා ඇති එක් කරුණක් ලෙස මිනිසුන් විසින් භාවිත කරන කෘෂි රසායන ද්‍රව්‍යද දක්වා තිබේ. නිශ්චිත රසායනික ද්‍රව්‍ය නිසා මෙවැනි බලපෑමක් ඇති වන ආකාරය පිළිබඳව කළ අධ්‍යයන දෙකක් පසුගියදා ප‍්‍රකාශයට පත් විය. එ් අනුව, කෘෂිකර්මාන්තයේදී සුලබ ලෙසින් යොදාගන්නා කෘෂි රසායන ද්‍රව්‍ය දෙකකට නිරාවරණය වීමෙන් මීමැස්සන්ගේ මොළයට ඇති වන බලපෑම ගැන පෙන්වාදී තිබේ.

මෙහිදි අවධානය යොමුව ඇති එක් කෘෂි රසායනික ද්‍රව්‍යයක් වන්නේ භෝග ශාක රැුසක පළිබෝධනාශකයක් ලෙස යොදාගන්නා නියෝනිකොටිනොයිඩ (neonicotinoid) වර්ගයේ පළිබෝධනාශකයක් වන ඉමිඩැක්ලෝපිඞ්ය (imidacloprid). අනෙක් වර්ගය වන්නේ මීමැස්සන්ට හානිකරන මයිටාවකු මර්ධනය කිරීම සඳහා භාවිත කරන  ඕගනෝපොස්පේට් කාණ්ඩයට අයත් කෝමාපොස් (coumaphos) නම් පළිබෝධනාශකයයි.

මේ එක් අධ්‍යයනයකදී පරිසරයේ මේ රසායන ද්‍රව්‍ය දෙක පවත්නා සාන්ද්‍රණය හා සමාන සාන්ද්‍රණයකට දින හතරක කාලයක් මීමැස්සන් ලක් කර තිබේ. ඉන් පසුව සුවඳ හා සම්බන්ධව මේ මීමැස්සන්ගේ මතකය පිළිබඳව සිදුකරන ලද පරීක්ෂාවට ලක් කර ඇති අතර එහිදී එ් අතරින් 30%ක් පමණ ප‍්‍රමාණයකගේ ඉගෙනීමේ ඇති හැකියාව අඩුවී ඇති බව අනාවරණය විය. මෙවැනි තත්ත්වයක් මීමැස්සන්ට හානිකර ලෙස බලපාන්නේ ඉගෙනීමට නොහැකි මීමැස්සන්ට ආහාර සොයාගැනීමේ අපහසුතා ඇති වන නිසාය. (මූලාශ‍්‍රය: Journal of Experimental Biology, DOI: 10.1242/jeb.083931)

මේ රසායන ද්‍රව්‍ය දෙකේ හා නියෝනිකොටිනොයිඩ (neonicotinoid) වර්ගයේ තවත් පළිබෝධනාශකයක් වන ක්ලෝතියනිඩින්වලින් (clothianidin) මීමැස්සන්ට ඇති වන බලපෑම ඇති වූ ආකාරය සම්බන්ධව අප සඳහන් කරන දෙවැනි පර්යේෂණය සිදුකර තිබේ. එහිදී පරිසරයේ අදාළ රසායන ද්‍රව්‍ය පවත්නා සාන්ද්‍රණය හා සමාන සාන්ද්‍රණයකට මීමැස්සන් ලක් කර ඔවුන්ගේ මොළයේ ක‍්‍රියාකාරිත්වය නිරීක්ෂණය කර ඇත. මෙහිිදී පෙනී ගොස් ඇති ආකාරයට, අදාළ රසායන ද්‍රව්‍ය හේතුවෙන් මොළයේ ස්නායු ක‍්‍රියාකාරිත්වයට බලපෑමක් ඇති වේ. එ් අනුව මීමැස්සන්ගේ සංජානනය මඳහා ඇති හැකියාවට බලපෑමක් ඇතිවීම පැහැදිලි කර තිබේ. මේ රසායන ද්‍රව්‍ය දෙකේම බලපෑම ඇති වන්නේ මීමැස්සන්ගේ මොළයේ එකම ප‍්‍රදේශයක් වන නිසා උක්ත රසායනද්‍රව්‍ය දෙකේම බලපෑමට ලක්වූ විට මීමැස්සන්ට ඇති වන බලපෑම අධික බවද හෙළි වී තිබේ. (මූලාශ‍්‍රය: Nature Communications, DOI: 10.1038/ncomms2648)

කෘෂි රසායන ද්‍රව්‍යවල මෙවැනි බලපෑමක් පිළිබඳව අනාවරණය වූ පළමු අවස්ථාව මෙය බවද අදාළ පර්යේෂකයන් සඳහන් කර ඇත. මේ අනුව පෙනෙන්නේ කෘෂිකාර්මික ප‍්‍රදේශවල වාසය කරන මීමැසි ගහන පත්ව ඇති අවදානමේ තරම වේ.

Tuesday, June 21, 2016

අවම උෂ්ණත්වයේ වැඩි වීම කුහුඹුවන්ට බලපාන ආකාරය- ජගත් පරිසර පුවත් 006 (27.03.2013)


ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 27.03.2013

Vidusara - World Environmental News (27.03.2013)


අවම උෂ්ණත්වයේ වැඩි වීම කුහුඹුවන්ට බලපාන ආකාරය


මිහිතලයේ උෂ්ණත්වය ඉහළ යෑම නිසා පරිසර පද්ධතිවලට හා ජීවීන්ට බලපාන ආකාරය පිළිබඳව සැලකිය යුතු අවධානයක් යොමුව ඇති විෂයයකි. පසුගියදා ප‍්‍රකාශයට පත්වූ මෙවැනි එක් අධ්‍යයනයකින් හෙළිවී ඇති ආකාරයට, පරිසර පද්ධතිවල ඇතිවන වෙනස්කම් හා සම්බන්ධව අවම උෂ්ණත්වයේ ඉහළ යෑම වඩාත් වැදගත් වේ.

ඇමරිකාවේ ඇපලේචියන් කඳුකර ප‍්‍රදේශයේ වාසය කරන උණුසුම් තත්ත්වවලට වඩා කැමැත්තක් දක්වන Aphaenogaster rudis නම් කුහුඹු විශේෂයේ සංක‍්‍රමණය රටාව පිළිබඳව මේ පර්යේෂණය සිදුකරන ඇත. 1974 වර්ෂයේදී හා 2012 වර්ෂයේදී මේ විශේෂයේ ව්‍යාප්තිය හා අදාළ කාලයේදී සිදුවූ ඇති උෂ්ණත්ව වෙනස්වීම් පිළිබඳ දත්ත මේ සඳහා භාවිතයට ගෙන තිබේ. මේ කාලය ඇතුළත උක්ත කුහුඹු විහේෂය වඩා උස් ප‍්‍රදේශ කරා ව්‍යාප්ත වී ඇත. එහෙත් ප‍්‍රදේශයේ මධ්‍යයන උෂ්ණත්වයේ හා උපරිම උෂ්ණත්වයේ වෙනස්වීමක් වී නොමැති අතර, ප‍්‍රදේශයේ අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක දෙකකින් පමණ ඉහළ ගොස් තිබීම විශේෂයකි. එ් අනුව අදාළ කුහුඹු විශේෂයේ ව්‍යාප්තිය සඳහා සීමාකාරී ලෙස බලපා ඇත්තේ ඉහළම උෂ්ණත්වය නොව අවම උෂ්ණත්වයේ සිදුවී ඇති වෙනස්කමයිි.

කෙසේ වෙතත් මේ කුහඹු විශෙෂයේ සංක‍්‍රමණයත් සමඟ අදාළ ගනයටම අයත් තවත් කුහඹු විශේෂයක සාපේක්ෂ විතැන් වීමක්ද වාර්තා වී ඇත. එමේ විතැන් වන විශේෂය ඇතැම් ශාකවල පැවැත්මට යම් බලපෑමක් ඇති වන බැවින්, සුළු උෂ්ණත්ව වෙනස්වීමකින් පවා පරිසර පද්ධතිවල සැලකිය යුතු බලපෑමක් පරිසරයේ බලපෑම් ඇති විය හැකි බව පැහැදිලිය. (මූලාශ‍්‍රය: Global Change Biology, DOI: 10.1111/gcb.12169)

මාර්ගවල පරිසර බලපෑම් - ජගත් පරිසර පුවත් 006 (27.03.2013)


ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 27.03.2013

Vidusara - World Environmental News (27.03.2013)


මාර්ගවල පරිසර බලපෑම්


මහාමාර්ග ඉදිකිරීම නිසා පරිසරයට ඇතිවන බලපෑම් පිළිබඳව ලෝකයේ විවිධ ප‍්‍රදේශවලින් අපට අසන්නට ලැබේ. විශේෂයෙන් වනාන්තර හා වෙනත් නොඉඳුල් පරිසර පද්ධති හරහා මාර්ග ඉදිකිරීම නිසා ඇති විය හැකි බලපෑම් මේ අතරින් ප‍්‍රමුඛය.

මහාමාර්ග පිළිබඳව මෑතදී සිදුකරන ලද විමර්ශනයකට අනුව මහාමාර්ග මගින් පරිසරයට සැලකිය යුතු ආපසු නිවැරදි කළ නොහැකි හානියක් ඇතිවිය හැකිය. නිදසුනක් ලෙස ගතහොත් ඇමසන් වනාන්තරයේ වන විනාශයෙන් හා වන ගිනි අතරින් 95%ක් පමණ ඇති වී තිබෙන්නේ මාර්ගවල සිට කිලෝමීටර් 10ක දුරක් ඇතුළතය.

කෙසේ වෙතත් අදාළ මේ පර්යේෂකයින්ට ඔවුන් පෙන්වාදෙන ආකාරයට මනාව සැලසුම් කර මහාමාර්ග ඉදිකිරීමෙන් මේ තත්ත්වය වළක්වා ගත හැකිය. මාර්ග පිහිටුවිය යුතු ස්ථානය මෙහිදී ඉතා වැදගත්ය. මාර්ග ඉදි කළ යුත්තේ වනගත ප‍්‍රදේශවලින් ඈත්ව පිහිටි ප‍්‍රදේශවලය. එසේම, කෘෂිකර්මය හා සංවර්ධනය සඳහා යෝග්‍ය ප‍්‍රදේශවලය. එවැනි ප‍්‍රදේශවල ප‍්‍රවාහනය දියුණු වීමෙන් වනගත ප‍්‍රදේශ හෙළිවීම සඳහා ඇති අවස්ථාවද අඩු වේ. (මූලාශ‍්‍රය: Nature, DOI: 10.1038/495308a)