Wednesday, February 28, 2018

ණය හුවමාරුවට සාගරය සුරැකීම

ජගත් පරිසර පුවත් 252 - 28.02.2018


ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 28.02.2018, පි. 3 (Vidusara)



තම රටේ ජාතික ණය ප‍්‍රමාණයෙන් කොටසක් හුවමාරු කිරීම වෙනුවෙන් විශාල සාගර ප‍්‍රදේශයකින් යුක්ත සාගර උද්‍යාන දෙකක් ඇති කිරීමට දූපත් රාජ්‍යයක් වන සීසෙල්ෂ් රාජ්‍යය එකඟ වී ඇත. මෙසේ සාගර ආරක්ෂිත ප‍්‍රදේශයක් ණයක් සඳහා හුවමාරු කිරීමක් සිදුව ඇත්තේ ලෝකයේ පළමුවතාවටය.

මේ අනුව වර්ග කිලෝමීටර් 210,000කින් පමණ සමන්විත මුහුදු ප‍්‍රදේශයක් ආරක්ෂා කිරීමට සීසෙල්ෂ් රාජ්‍ය එකඟ වී ඇත. එරට ජාතික ණයෙන් ඩොලර් මිලියන 22 ක මුදලක් මේ සඳහා හුවමාරු කර ගැනෙයි. රටවල් හතරකට ඇති එම ණය මුදල හුවමාරු කරගෙන ඇත්තේ The Nature Conservancy නම් සංවිධානය මගිනි. එම කාර්යය සඳහා ප‍්‍රකට පරිසර සංවිධාන හා පුද්ගලයින්ද මුල් වී තිබෙයි. සුප‍්‍රකට නළුවකු වන ලෙනාඩෝ ඩික‍්‍රැපියෝගේ පදනමද මේ කාර්යය සඳහා මැදිහත් වී ඇත.

මේ ආරක්ෂිත ප‍්‍රදේශ ප‍්‍රමාණයත් සමඟ 2020 වර්ෂය වන විට එරට සාගර ආරක්ෂිත ප‍්‍රදේශ ප‍්‍රමාණය 0.04% සිට 30% දක්වා ඉහළ යයි. නිවර්තන කලාපයේ පිහිටා ඇති බැවින් මේ ප‍්‍රදේශ සාගර ජෛව විවිධත්වය සම්බන්ධව වැදගත් ප‍්‍රදේශ වන බව පර්යේෂකයන් පෙන්වා දී ඇත. එසේම මේ ප‍්‍රදේශ අද වන විට විවිධ ආකාරයේ තර්ජනවලට ලක්ව ඇත. යෝජනා කර ඇති පරිදි අදාළ ප‍්‍රදේශ දෙකෙහි කළ හැකි මානව කටයුතු පිළිබඳවද සීමා පනවා තිබෙයි.

මේ ආකාරයෙන් කිසියම් රටක් ලබාගෙන ඇති ණය සඳහා පරිසර සම්පත් හුවමාරු කිරීම පිළිබඳව කලින් කල සාකච්ඡා වී තිබෙයි. ඇතැම් එවැනි නිදසුන් ලෝකයේ දැකිය හැකිය. එ් පිළිබඳව ඇතැම් විට නිෂේධනීය අදහස් තිබුනද යහපත් විය හැකි අවස්ථාද ඇති බව මේ පුවත අනුව වැටහේ. කෙසේ වෙතත් සියල්ල තීරණය වන්නේ අදාළ කාර්යයේ අරමුණ හා එම කාර්යය සඳහා එකඟ වන කොන්දේසි ආදිය අනුව බව පැහැදිලිය.

No comments:

Post a Comment