Tuesday, February 13, 2018

ප්ලාස්ටික් නිසා කොරල්පර රෝගී වීම ඉහළට

ජගත් පරිසර පුවත් 249 - 07.02.2018


ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 07.02.2018, පි. 3 (Vidusara)



ප්ලාස්ටික් අපද්‍රව්‍ය එක්වීම නිසා කොරල්පර රෝගවලට ලක් වීමට ඇති හැකියාව විසි ගුණයකින් පමණ ඉහළ යන බව අධ්‍යයනයකින් පෙනීගොස් තිබෙයි. අග්නිදිග ආසියාවේ කොරල්පර 159ක් පමණ ආශ‍්‍රිතව මේ අධ්‍යයනය සිදු කර ඇත. එහිදී හෙළි වී ඇති ආකාරයට, කොරල්පරවලට වැළඳෙන ප‍්‍රධාන පෙළේ රෝගයක් හමුවීමට ඇති අවස්ථාව ප්ලාස්ටික් තිබූ පරවලදී 4% සිට 89% දක්වා ඉහළ යා හැකිය. මේ අනුව මියන්මාරයේ සිට ඔස්ටේ‍්‍රලියාව දක්වා වූ කොරල්පර වල හමුවන බිලියන 11.1ක් පමණ විය හැකි යයි ගණන් බලා ඇති විවිධ ප්ලාස්ටික් ප‍්‍රමාණය එම පරවල පැවැත්ම සඳහා බලපානු ඇත. මේ තත්ත්වය හුදෙක් එම පරවල ජෛව විවිධත්වයට පමණක් නොව, එ්වා මත ගොඩ නැගී ඇති ආර්ථික වැදගත්කමකින් යුක්ත කර්මාන්තවලටද බලපායි. මේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප‍්‍රමාණය ඉදිරි වසර 7 ඇතුළත තවත් 40%කින් පමණ ඉහළ යා හැකිය. 

කොරල්පරවලට මෙම රෝග වැළඳිම සඳහා ප්ලාස්ටික්වලින් ඇති කරන බලපෑම කෙබඳුඳ යන්න පිළිබඳව තවමත් අධ්‍යයනය කෙරෙමින් පවතී. දැනට පෙන්වා දී ඇති පරිදි ප්ලාස්ටික් මගින් රෝගකාරක ගෙන යෑම, ප්ලාස්ටික් නිසා කොරල්පරවලට හානි සිදු වී රෝගකාරකවලට සුදුසු ස්ථාන ඇති කිරීම, ප්ලාස්ටික් නිසා පර කොටස් වැසී ගොස් බැක්ටීරියා වැනි රෝගකාරකවලට සුදුසු තත්ත්ව ඇති වීම වැනි ක‍්‍රියාවලී මේ සඳහා යෝජනා වී ඇත. එසේම ව්‍යුහාත්මක වශයෙන් සංකීර්ණ කොරල් සෙසු කොරල්වලට වඩා ප්ලාස්ටික්වල බලපෑමට ලක්වීමට අටගුණයක අවස්ථාවක් ඇති බවද පෙනෙයි. 

මේ තත්ත්වය අනුව කොරල්පර කළමනාකරණය සැලසුම් කිරීමේදී ප්ලාස්ටික් පිළිබඳවද සැලකිල්ලට ගත යුතු වෙයි. එසේම ප්ලාස්ටික් අපද්‍රව්‍ය කසළ ප‍්‍රවාහයට එකතු වීම වැළැක්වීම සඳහා පියවර ගැනීමද අවශ්‍ය වෙයි. රෝග ඇති වීමේ මෙවැනි වර්ධනයක් ප්ලාස්ටික් අපද්‍රව්‍ය නිසා ඇති වීම තරමක් විස්මය ජනක බව විශේෂඥයන්ගේ මතයයි. මේ අනුව ප‍්‍රශ්නයේ තරම සිතනවාට වඩා බරපතළ වූවක් බව පැහැදිලිය. (මූලාශ‍්‍රය: Science, DOI: 10.1126/science.aar3320)

No comments:

Post a Comment