Monday, February 19, 2018

ක්ෂීරපායීන් තවත් සිටියි

ජගත් පරිසර පුවත් 250 - 14.02.2018


ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 14.02.2018, පි. 3 (Vidusara)



ක්ෂීරපායින් යනු මිනිසාද අයත් වන සත්ත්ව වර්ගයයි. අප සාමාන්‍යයෙන් සිතා සිටිනවාට වඩා ක්ෂීරපායි විශේෂ ප‍්‍රමාණයක් ලෝකයේ වාසය කරනවා විය හැකි බව පසුගියදා ප‍්‍රකාශයට පත් වූ අධ්‍යයනයකින් පෙන්වාදී තිබේ. එහි දක්වා ඇති ආකාරයට ගත වූ වසර දහතුනක පමණ කාලය ඇතුළතදී ලෝකය පුරා විවිධ ප‍්‍රදේශවලින් නව ක්ෂීරපායී විශේෂ දහසකට අධික ප‍්‍රමාණයක් විස්තර කර තිබේ. මෙම නව විශේෂ විස්තර කිරීමේ වේගය, ක්ෂීරපායීන් පිළිබඳව අපි හොඳින් දන්නෙමු යන සාමාන්‍යයෙන් විශ්වාස කරන අදහසට සම`ග නොගැලපෙන්නකි.

1993 වර්ෂයේදී 4631ක් වූ ක්ෂීරපායී විශේෂ ගණන, 2005 වර්ෂය වන විට 5416 දක්වා ඉහළ ගොස් ඇත. 2004 සිට මේ දක්වා ප‍්‍රකාශිත නව විශේෂ පිළිබඳ වාර්තා මේ අධ්‍යයනය සඳහා යොදාගෙන තිබේ. මේ වන විට ක්ෂීරපායි විශේෂ ගණන 6495ක් පමණ වෙයි. ඉන් 96ක් වඳවී ගොස් ඇති අතර 6399ක් දැකිය හැකිය. මේ අනුව අවසානයේ ගත වූ වසර 13ක කාලය ඇතුළත ක්ෂීරපායී විශේෂ ගණන 1079කින් ඉහළ ගොස් තිබෙයි. මෙය සමස්ත ක්ෂීරපායි සත්ත්ව විවිධත්වයේ 20%ක පමණ ඉහළ යාමකි. මෙය වැදගත් සිදුවීමකි. මේ දත්ත විශ්ලේෂණයෙන් ඔවුන් පෙන්වා දෙන්නේ දිගුකාලීන වශයෙන් ගත් විට වර්ෂයකට විශේෂ 25ක් පමණ හඳුනාගැනීමේ වේගයක් දැකිය හැකි බවයි. ක්ෂීරපායී විශේෂ ඝනත්වය ඉහළම ප‍්‍රදේශය වන්නේ නවලෝකයේ ඝර්මකලාපීය ප‍්‍රදේශයයි. දෙවැනි තැනට පැමිණෙන්නේ අප‍්‍රිකාවේ නිවර්තන කලාපීය ප‍්‍රදේශයි. ආසියාව හා ඉන්දා පැසිෆික් නිවර්තන කලාප ඉන්පසු පැමිණෙයි.
මෙම අධ්‍යයනයෙන් ක්ෂීරපායි විවිධත්වය දත්ත සමුදාය (Mammal Diversity Database) නම් දත්ත සමුදායක් හඳුන්වාදෙනු ලබයි. පොදු භාවිතය සඳහා විවෘත එයට https://mammaldiversity.org වෙබ් අඩවිය ඔස්සේ පිවිසිය හැකිය. නව විශේෂ පිළිබඳව යාවත්කාලීන කරනු ලබන දත්ත සමුදායක් ලෙස මෙය ක‍්‍රියාත්මක වනු ඇත. (මූලාශ‍්‍රය: Journal of Mammalogy, DOI: 10.1093/jmammal/gyx147)

No comments:

Post a Comment