Saturday, March 31, 2018

ආක්ටික් වසන්තය දින 16ක් ඉදිරියට පැමිණේ

ජගත් පරිසර පුවත් 253 - 07.03.2018


ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 07.03.2018, පි. 3 (Vidusara)


උතුරු අර්ධගෝලයේ ආක්ටික් කලාපයේ වසන්න ඍතුව මීට දශකයකට පමණ පෙර ආරම්භ වූ කාලවකවානුවට වඩා දින 16කින් පමණ ඉදිරියට පැමිණ ඇති බව පසුගියදා පළ වූ අධ්‍යයනයකින් පෙන්වාදී තිබෙයි. එසේම ලෝකයේ උතුරු අර්ධගෝලයේ වඩාත් උතුරු දිශාවට යන්නට වසන්ත ඍතුව වඩාත් ඉදිරියට පැමිණෙන බවද මේ අනුව පැහැදිලි වී ඇත. මෙය මෙතෙක් ප‍්‍රකාශයට පත්ව තිබූ දිනවකවානුවලට සාපේක්ෂව වැඩි වෙනසක් පෙන්වන්නක් වන අතර ලෝකයේ උෂණත්වය ඉහළ යෑමේ යම් සම්බන්ධයක් පෙන්වයි.

වසන්ත ඍතුවේ ඇතිවන වෙනස්කම් ආදිය අතීතයට වඩා කලින් ඇති වන බව මේ වන විට පැහැදිලිව දන්නා කරුණකි. මෙම අධ්‍යයනයේදී අවධානය යොමුකර ඇත්තේ මෙවැනි ඍතුවිද්‍යාත්මක වෙනස්කම් පිළිබඳවය. එ් අනුව ආක්ටික් ප‍්‍රදේශයේ වසන්න ඍතුව සෙසු ප‍්‍රදේශවලට (පහළ අක්ෂාංශ ප‍්‍රදේශවලට) වඩා කලින් පැමිණෙන බව මෙහිදී තහවුරු කර ඇත. එ් නිසා ශීත ඍතුව කලින් අවසන් වී වසන්ත ඍතුව කලින් පැමිණෙයි. මේ බව ශාක හා සතුන්ගේ ඍතුමය හැසිරීම්වලින් පැහැදිලි වී ඇති කරුණකි. නිදසුනක් ලෙස ගතහොත් ලොස් ඇන්ජලීස් ප‍්‍රදේශයේදී ශිත ඍතුව අවසන් වීම අතීතයට වඩා එක් දිනයක් පෙර සිදු වන අතර, ආක්ටික් ප‍්‍රදේශයේදී එය සති දෙකක් පමණ කාලයක් කලින් සිදු වේ. මෙසේ වසන්න ඍතුව කලින් පැමිණීම මීට පෙර අධ්‍යයනවලදී පෙන්වාදී තිබූ දින ගණනට වඩා තුන් ගුණයක් පමණ ඉදිරියට යෑමක් වීම විශේෂයෙන් වැදගත්ය.

මෙමගින් පෙනෙන්නේ ආක්ටික් ප‍්‍රදේශවලට දේශගුණ වෙනස් වීම කෙතරම් තදින් බලපාන්නේද යන්නය. එහි උෂ්ණත්ව වර්ධනය ලෝකයේ සෙසු ප‍්‍රදේශවලට වඩා දෙගුණයක් පමණ වේගයෙන් සිදුවන අතර, අයිස්වලින් වැසුණු බිම් ප‍්‍රදේශය වේගයෙන් දියැවී යමින් තිබේ. එබැවින් මෙය අවධානය යොමු විය යුතු කරුණකි.

(මූලාශ‍්‍රය: Scientific Reports, DOI: 10.1038/s41598-018-22258-0)

No comments:

Post a Comment