Wednesday, February 28, 2018

ඕසෝන් ස්ථරයේ අඩුවීමක් තවමත් පවතී

ජගත් පරිසර පුවත් 251 - 21.02.2018


ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 21.02.2018, පි. 3 (Vidusara)



ඕසෝන් ස්තරය හෙවත් ස්තරගෝලයේ ඕසෝන් සාන්ද්‍රණය අඩු වීම මේ වන විට නැවතී ඇති බව සාමාන්‍යයෙන් පිළිගන්නා කරුණකි. එ් ඕසෝන් ස්තරයට හානිකරන රසායනික ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් කිරීම සඳහා ලෝකය විසින් සාර්ථකව පියවර ගැනීමෙන් අනතුරුවය. එහෙත් ස්තරගෝලයේ පහළ ප‍්‍රදේශයේ ඕසෝන් සාන්ද්‍රණය තවදුරටත් අඩුවෙමින් පවත්නා බව පසුගියදා ප‍්‍රකාශයට පත් අධ්‍යයනයකින් පෙන්වාදී ඇත.

මේ ප‍්‍රදේශය ස්තරගෝලයේ වැදගත් ප‍්‍රදේශයක් සේ සැලකෙයි. එහි 1998න් පසු ගත වූ කාලයේදීද ඕසෝන් සාන්ද්‍රණය ක‍්‍රමයෙන් අඩු වීමක් සිදු වී ඇත. සුළු වශයෙන් වුවද, ඕසෝන් සාන්ද්‍රණයේ දිගින් දිගටම සිදුවන අඩුවීමක් ලෙස මෙය ඔවුන් විසින් හඳුනාගෙන තිබෙයි. එ් චන්ද්‍රිකා මගින් ලබාගත් මිණුම් ආශ‍්‍රයෙන් සිදුකරන ලද අධ්‍යයනයක් මගිනි. මේ අඩු වීම 1998 වර්ෂයට පෙර තිබූ ප‍්‍රමාණය මෙන් විශාල අඩු වීමක් නොවූවද යම් අඩුවීමක් දැකිය හැකිය.

මෙය කිසිසේත් අපේක්ෂා නොකළ කරුණකි. ඉහළ ස්තරගෝලයේ ඕසෝන් සාන්ද්‍රණය යථා තත්ත්වයට පත්වෙමින් ඇති වුවද, පහළ ස්තරගෝලයේ පවත්නා මේ තත්ත්වය අනුව ඕසෝන් ස්තරය පිළිබඳ කතාව තවමත් අවසන් වී නොහමැති බව මේ පර්යේෂකයන්ගේ අදහස වෙයි. එසේම මෙසේ පහළ ස්තරගෝලයේ ඕසෝන් සාන්ද්‍රණය තවදුරටත් අඩු වීම සඳහා බලපා ඇති හේතුව කවරක්ද යන්නද තවමත් පැහැදිලි නොමැත.

ඕසොන් වායුව විනාශ කරන රසායන ද්‍රව්‍ය පිළිබඳව කරුනු අනාවරණය වීමෙන් පසුව 1987දී ඇතිකරගත් මොන්ටි‍්‍රයල් සන්ධානය මගින් ඕසෝන් ස්තරයට හානිකරන රසායන ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් කිරීමට තීරණය කරන ලදි. ජගත් මට්ටමෙන් සහයෝගය ලැබුණු බැවින් මෙය සාර්ථක වූ අතර ප‍්‍රධාන රසායනික ද්‍රව්‍ය සියල්ලම භාවිතයෙන් ඉවත් කිරීමට හැකියාව ලැබිණි. මෙය ජගත් මට්ටමෙන් සාර්ථක ප‍්‍රතිඵල අත්පත් කරගත් එක`ගතාවයක් සේ සැලකෙයි. (මූලාශ‍්‍රය: Atmospheric Chemistry and Physics, DOI: 10.5194/acp-18-1379-2018)

No comments:

Post a Comment