Monday, February 19, 2018

ආක්ටික් පරිසරයේත් ප්ලාස්ටික්

ජගත් පරිසර පුවත් 250 - 14.02.2018


ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 14.02.2018, පි. 3 (Vidusara)



ආක්ටික් සාගර පරිසරයේද ප්ලාස්ටික් අපද්‍රව්‍ය එකතුවෙමින් ඇති බව විද්‍යාඥයින් පිරිසක් විසින් පෙන්වාදී තිබේ. විශේෂයෙන් මුහුදු අයිස්වල එකතුවෙමින් ඇති ක්ෂුද්‍ර ප්ලාස්ටික් මෙහිදී ඔවුන්ගේ වැඩි අවධානයකට ලක්ව ඇත. නෝර්වීජියානු ආක්ටික් ප‍්‍රදේශවල සිදුකර ඇති මෙම අධ්‍යයනයේදී අවධානයට ලක් වූ සෑම ප‍්‍රදේශයකම පාහේ ප්ලාස්ටික් දැකිය හැකි වී තිබීම විශේෂයකි.

නෝර්වීජියානු ධ‍්‍රැව ආයතනය මගින් සිදුකර ඇති මෙම අධ්‍යයනයේදී හෙළි වි ඇති ආකාරයට, එම ප‍්‍රදේශයේම විවෘත සාගරයේ දැකිය හැකි ප‍්‍රමාණයට වඩා වැඩි ප‍්‍රමාණයකින් ප්ලාස්ටික් අයිස් මත හමු වී ඇත. මේ අතරින් සැලකිය යුතු ප‍්‍රමාණයක් ධීවර කටයුතුවලින් බැහැර කරනු ලබන ප්ලාස්ටික් වීම විශේෂ සිදුවීමකි. ධීවර කර්මාන්තයෙන් බැහැර කරනු ලබන මෙම ප්ලාස්ටික් අපද්‍රව්‍ය කලක පටන් ගැටලූවක් ලෙස හඳුනාගෙන තිබෙන්නකි.
මෙය වැදගත් වන්නේ මේ ප්ලාස්ටික් මුහුදු ජීවීන්ගේ ශරීරගත වීම සඳහා වැඩි අවස්ථාවක් ඇති නිසාය. 1970 දශකයේදී ඇතැම් මත්ස්‍ය විශේෂවල ශරීරගතව තිබූ ප්ලාස්ටික් ප‍්‍රමාණයට වඩා අධික ප්ලාස්ටික් ප‍්‍රමාණයක් මේ වන විට එම විශේෂවල මසුන්ගේ ශරීරවල දැකිය හැකි බව පෙන්වාදී ඇත. එපමණක් නොව දැල් වැනි ප්ලාස්ටික්වල පැටලීම නිසා පිණිමුවන් වැනි සතුන්ගේ ජීවිත හානි පවා ඇති වූ අවස්ථා වාර්තා වී ඇත. එමෙන්ම මේ ප්ලාස්ටික් විවිධ රෝගකාරකයින්ට ධාරකයන් ලෙස ක‍්‍රියාකිරීමට හැකියාවද තිබෙයි.

ප්ලාස්ටික් භාවිතයට නොගන්නා ප‍්‍රදේශවල වුවද ප්ලාස්ටික් අපද්‍රව්‍ය විශාල ලෙසින් හමුවීම ලෝකයේ දැකිය හැකි බරපතළ ප‍්‍රශ්නයක් වෙයි. මිනිස් වාසයෙන් බොහෝ ඈත පිහිටා ඇති ඇතැම් ප‍්‍රදේශවල ප්ලාස්ටික් අපද්‍රව්‍ය විශාල වශයෙන් දැකිය හැකි බව වාර්තා වී ඇත. මෙය කණගාටුවට කරුණක් වන්නේ මිනිසුන්ගේ ක‍්‍රියාකාරිත්වයෙන් ඈත්ව පිහිටා ඇති නොඉඳුල් ප‍්‍රදේශ මේ තත්ත්වයට පත්ව තිබීම නිසාය. එය සංචාරක කර්මාන්තය වැනි අංශවලටද බලපෑ හැකිය.

No comments:

Post a Comment