Wednesday, February 28, 2018

ධීවර කර්මාන්තයේ පියසටහන

ජගත් පරිසර පුවත් 252 - 28.02.2018


ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 28.02.2018, පි. 3 (Vidusara)



ලෝකයේ සාගර ප‍්‍රදේශයෙන් අඩකට අධික ප‍්‍රදේශයක් (55%ක්) කාර්මික හෙවත් වාණිජ ධීවර කර්මාන්තයට ලක්වී ඇති බව පසුගියදා ප‍්‍රකාශයට පත් පර්යේෂණයකින් අනාවරණය වී තිබෙයි.

මෙහිදී ලෝකය පුරා සාගරයේ ධීවර කර්මාන්තයේ යෙදෙන ස්වයංක‍්‍රිය සන්නිවේදන මෙවලම් සවිකර ඇති විශාල යාත‍්‍රාවලින් චන්ද්‍රිකා මගින් දත්ත ලබාගෙන ඇත. 2012 සිට 2016 දක්වා කාලයේදී යාත‍්‍රා 70,000ක් පිළිබඳ තොරතුරු ලබාගැනීමට පර්යේෂකයන්ට හැකි වී තිබෙයි. එම සංඥා අනුව මෙම යාත‍්‍රා කුමන ප‍්‍රදේශයක ධීවර කටයුතුවල යෙදෙන්නේද යන්න මෙන්ම එහි තීව‍්‍රතාවයද අනාවරණය කරගැනීමට හැකි වී ඇත. මේ කරුණු සිතියම් ආශ‍්‍රයෙන් ඉදිරිපත් කර තිබෙයි.

අධ්‍යයනයෙන් හෙළි වී ඇති තොරතුරු අනුව ප‍්‍රදේශය අනුව ගත් විට, ධීවර කර්මාන්තය සඳහා යොදාගන්නා සාගර ප‍්‍රදේශය කෘෂිකාර්මික භූමිය මෙන් සිව් ගුණයක් පමණ වෙයි. අනෙක් අතට මුහුදේ ගතකරන පැය ගණන අනුව ගතහොත් තම රටේ සාගර කලාපයෙන් එපිට ගැඹුරු මුහුදේ වාණිජ ධීවර කර්මාන්තයෙන් 85%ක් පමණ යෙදෙන්නේ රටවල් පහකි. එ් චීනය, ස්පාඤ්ඤය, ජපානය, දකුණු කොරියාව හා තායිවානයයි. කෙසේ වෙතත් ධීවර කර්මාන්තයෙන් සැපයෙන්නේ ජගත් මට්ටමේ පරිභෝජනයෙන් 1.2%ක් තරම් අඩු කැලරි නිෂ්පාදනයක් වීමද වැදගත් කරුණකි.

මේ අනුව ලෝකයේ සාගරවල මත්ස්‍ය සම්පත මුහුණ පා ඇති අර්බුදයේ තරම පෙනෙයි. ධීවර කර්මාන්තයේ තිරසරභාවය පිළිබඳව යළිත් සිතීමට අවස්ථාවක් මෙමගින් ලබාදී තිබෙයි. අනෙක් අතට මෙහිදී අවධානයට ලක්ව ඇත්තේ අදාළ ට‍්‍රාන්ස්පොන්ඩර සවි කර ඇති ධීවර යාත‍්‍රා පමණකි. එහිදී ගැඹුරු මුහුද වැඩි වශයෙන් ආවරණය වෙයි. එහෙත් වෙරළාසන්නව ධීවර කටයුතුවල යෙදෙන කුඩා ප‍්‍රමාණයේ යාත‍්‍රා විශාල ප‍්‍රමාණයක එ්වා සවිකර නොමැත. අනෙක් අතට එ්වා ක‍්‍රියාවිරහිත කිරීමටද හැකිය. එ් අනුව ධීවර පියසටහනේ සැබෑ තත්ත්වය මීට වඩා ඉහළ යෑමටද හැකිය. (මූලාශ‍්‍රය: Science, DOI: 10.1126/science.aao5646)

No comments:

Post a Comment