Tuesday, February 13, 2018

හිම වලසුන්ට ආහාර හිඟයක්?

ජගත් පරිසර පුවත් 249 - 07.02.2018


ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 07.02.2018, පි. 3 (Vidusara)



හිම වලසුන් යනු දේශගුණ වෙනස් වීම නිසා බරපතළ බලපෑමකට ලක්ව ඇති සත්ත්ව විශේෂයකි. විශේෂයෙන් ඔවුන් වාසය කරන ස්වාභාවික පරිසරයේ අයිස් දියවීම හා කැබලිකරණය වීම මේ තත්ත්වයට ප‍්‍රධාන හේතු වී ඇත. එවැන්නක් ඇති වීමට බලපාන යාන්ත‍්‍රණ සම්බන්ධව සිදුකරන ලද අධ්‍යයනයකට අනුව, උත්තර ධ‍්‍රැවයට ආසන්නව ආක්ටික් සාගර ප‍්‍රදේශයේ ජීවත්වන හිම වලසුන් (Ursus maritimus) අද වන විට ආහාර ලබාගැනීම පිළිබඳ ගැටලූවකට මුහුණ දී ඇත.

ගැහැණු හිම වලසුන් නව දෙනෙකුට පළඳවන ලද අධි තාක්ෂණික GPS කැමරා සහිත කොලර් භාවිත කරමින් සිදුකර ඇති මේ අධ්‍යයනයේදී එම සතුන්ගේ වීඩියෝ දර්ශන, ගමන් කරන ස්ථාන, ශක්තිය භාවිතය වැනි තොරතුරු දින 8-12 අතර කාලයක් සඳහා පටිගත කරගෙන තිබෙයි. එ් 2014, 2015 හා 2016 වසන්ත සමයේදීය. එම දත්ත යොදාගනිමින් මෙම අධ්‍යයනය සිදුකර ඇත.

මෙහිදී පෙනී ගොස් ඇත්තේ අධ්‍යයනයට බඳුන් වූ හිම වලසුන් අතරින් අඩකට අධික ප‍්‍රමාණයක්ම සිය දේහයේ ශක්ති අවශ්‍යතාව සම්පූර්ණ කිරීම සඳහා ප‍්‍රමාණවත් ගොදුරු ලබා ගැනීමට අපොහොසත් වූ බවකි. එසේම පෙනී ගොස් ඇති ආකාරයට මෙතෙක් විශ්වාස කළ ප‍්‍රමාණයට වඩා හිම වලසුන්ගේ ක්ෂේත‍්‍ර පරිවෘත්තීය වේගය අධිකය. එය මීට පෙර අනුමාන කර තිබූ අගය මෙන් 1.6 වාරයක් පමණ අධික බව මෙම අධ්‍යයනයේදී හෙළි වූ තවත් වැදගත් කරුණකි. එසේම පෙනී ගොස් ඇති ආකාරයට මේ සතුන්ගේ ආහාරය වන සීල් මසුන් සොයා වැඩි දුරක් ගමන් කිරීමට වී ඇති බවද පෙනී ගොස් තිබෙයි. එය සතුන්ට ගොදුරු ලබාගැනීම තවත් දුෂ්කර කර ඇත. මේ සියලූ කරුණු, අද වන විට බොහෝ විiාඥයන් විසින් නිරීක්ෂණය කර ඇති කරුණක් වන හිම වලසුන්ගේ දේහ තත්ත්වයේ පිරිහීමක් ඇති වීම සඳහා සහ මෙම සතුන්ගේ පැවැත්ම සඳහා බලපාන එ්වා බව පෙනෙයි. (මූලාශ‍්‍රය: Sciene, DOI: 10.1126/science.aan8677)

No comments:

Post a Comment