Friday, May 26, 2017

ආක්ටික් රැකගැනීමට වූ එකඟතාවය දේශගුණ සටනට බලාපොරොත්තුවක්ද?

ජගත් පරිසර පුවත් 212 - 17.05.2017


ධනේෂ් විසුම්පෙරුම


විදුසර, පි. 3, 17.05.2017 (Vidusara)



ආක්ටික් ප‍්‍රදේශය සම්බන්ධව පසුගියදා පැවැත්වුණු සමුළුවකදී ඊට සම්බන්ධ රටවල් විසින් නව එකඟතාවයකට අත්සන් කර තිබේ. ආක්ටික් සභාව (Arctic Council) නම් රටවල් අටකින් යුක්ත මේ කණ්ඩායමට ආක්ටික් ප‍්‍රදේශයට මායිම්ව පිහිටි රටවල් අටක් අයත් වේ. දේශගුණ වෙනස් වීම නිසා මෙන්ම තවත් කරුණු ගණනාවකින් බරපතළ ලෙස පීඩාවට පත්ව ඇති ආක්ටික් කලාපය ආරක්ෂා කරගැනීමට සාමූහිකව කටයුතු කිරීම මේ කණ්ඩායමේ අරමුණයි.

එහිදී අදාළ රටවල් එකඟ වූ කරුණු අතර දිගුකාලීන හරිතාගාර වායු විමෝචන හා කෙටිකාලීනව බලපාන වායු දූෂක කඩිනමින් සීමා කිරීම සඳහා ලෝකය කටයුතු කිරීමේ වැදගත්කම පිළිගෙන තිබීම වැදගත් කරුණකි. පැරිස් ගිවිසුම ක‍්‍රියාත්මක වීම සම්බන්ධවද සඳහන් කර ඇතත් එය එතරම් ප‍්‍රබල අදහසක් ජනිත නොකරන්නකි. මේ එකඟතාවයට ඇමරිකාවට එකඟව අත්සන් තැබීම වැදගත් සිදුවීමකි.

කෙසේ වෙතත්, මේ සමුළුවේදී ඇමරිකානු රාජ්‍යලේකම්වරයා පවසා ඇති පරිදි ඉදිරියේදී ඇමරිකාව ගනු ලබන්නේ ඇමරිකාවට වැදගත් හා නිවැරදි වන තීරණයකි. දේශගුණ වෙනස් වීම සම්බන්ධව කටයුතු කළ යුතු ආකාරය ගැන ඇමරිකානු රජය මේ වන විට සමාලෝචනය කරමින් සිටින බව පවසා ඇති ඔහු එ් පිළිබඳ තීරණයක් ගැනීමට හදිසි නොවන බවක්ද පවසා ඇත.

ඉහත සඳහන් එකඟතාවයට ඇමරිකාවද අත්සන් කිරීම සුභවාදී ප‍්‍රවණතාවයක් සේ ඇතැම් කොටස් විසින් දක්වා ඇත. ඇමරිකානු නියෝජිතයන් උක්ත එකඟතාවට සම්බන්ධ වීම නිසා පැරිස් ගිවිසුම ක‍්‍රියාත්මක කිරීම සඳහා ද ඉදිරියේදී ඇමරිකාවේ සහාය ලැබෙනු ඇතැයි බලාපොරොත්තු පළ වී තිබේ. එහෙත් මෙපමණකින් වර්තමාන ඇමරිකානු රජයේ දේශගුණ ප‍්‍රතිපත්ති වෙනස් වනු ඇතැයි සිතීමට හදිසි විය යුතු නැත. අනෙක් අතට ඇමරිකාවෙන් වාර්තා වන පරිදිද තත්ත්වය තවමත් එතරම් සුභවාදී නොවේ.

No comments:

Post a Comment