Tuesday, July 31, 2018

හිපපොටේමස් මරා දැමීමේ සැම්බියානු උත්සාහය

ජගත් පරිසර පුවත් 273 - 25.07.2018


ධනේෂ් විසුම්පෙරුම
විදුසර, 25.07.2018, පි. 3 (Vidusara)



තම රටේ වෙසෙන හිපපොටේමස් සතුන්ගේ ගහනය ඉහළ ගොස් ඇති බැවින් එම සතුන්ගෙන් යම් ප‍්‍රමාණයක් ජයස්මාරක දඩයම් (trophy hunting) ක‍්‍රීඩාව යොදාගනිමින් මරා දැමීමට සැම්බියා බලධාරීන් කළ යෝජනාවක් සම්බන්ධව සංරක්ෂණ අංශවල එතරම් අවධානයකට ලක්ව නැති කරුණකි. මේ යෝජනාව අනුව වර්ෂයකට සතුන් 250ක් පමණ බැගින් මරා දැමීමට යෝජනාව වී ඇති අතර එ් සඳහා දඩයම් කරුවන් සඳහා අවස්ථාව ලබාදීමෙන් ආදායමක් උත්පාදනය අපේක්ෂාවයි. මේ සතුන්ගේ ගහනය වර්ධනය වී ඇති බැවින් ඔවුන් මගින් සෙසු සතුන් අතරද ඇන්ත‍්‍රැක්ස් රෝගය ව්‍යාප්ත වීමේ අවදානමක් තිබීම මේ සඳහා ඉදිරිපත්ව ඇති හේතුව බව පෙනේ. මෙය වනසතුන් අතර බරපතළ තත්ත්වයක් ඇති කළ හැකි රෝග තත්ත්වයකි.

මේ සඳහා යෝජනා වී ඇත්තේ එරට ලූවන්ග්වා නම් ගංගාවේ වෙසෙන හිපපොටේමස් සතුන් දඩයම් කිරීමය. මේ වන විට ලෝකයේ වැඩිම හිපපොටේමස් සතුන් පිරිසක් ජීවත්වන්නේ මේ ගංගාවේ වන අතර, 25,000කට අධික එම ප‍්‍රමාණය ලෝකයේ වෙසෙන හිපෝ සතුන් අතරින් 20%ක් පමණ වෙයි. එය වැඩිම හිපෝ ගහන ඝනත්වයක් ඇති ගංගාවයි.

හිපපොටේමස් යනු විශාල ක්ෂිරපායී විශේෂ අතරින් එතරම් අවධානයකට යොමු වී නැති සත්ත්ව කොට්ඨාසයකි. සිංහයන්, අලින්, ජිරාෆ් හා රයිනෝසිරස් සතුන් තරම් අවධානයකට හිපපොටේමස් සතුන් පත් නොවේ. හිපපොටේමස් සතුන් තෝරා මරා දැමීමට ගෙන ආ යෝජනාව ලෝකයේ අවධානයට එතරම් ලක් නොවූයේ එම නිසා බව ඇතැම් මාධ්‍ය දක්වා ඇත. මේ අතර ඇතැම් සෆාරි ආයතන හිපෝ දඩයම් කිරීම පිළිබඳව දැන්වීම් පළකිරීමටද ගෙන තිබෙයි.

මෙය සංරක්ෂණය සඳහා සාර්ථක පියවරක්ද යන්න මේ වන විට සාකච්ඡුාවට ලක්ව ඇත. හිපෝ සතුන්ගේ ගහනය අධික වී ඇති බවක් ඇතැම් විද්‍යාඥයෝ පිළිනොගනිති. එසේම ක‍්‍රිඩාවක් ලෙස සිදුකරන දඩයම සංරක්ෂණ පියවරක් ලෙස කෙතරම් සාර්ථකද යන්නද මෙසේ සාකච්ඡුාවට ලක්ව ඇති කරුණකි. කෙසේ වෙතත් හිපෝ ගහනය පාලනය සඳහා මේ පියවර සුදුසු බව කියන විද්‍යාඥයින් හා ආයතන ද තිබෙයි. එමෙන්ම වනජීවී සංචාරක ආකර්ෂණයක් ඇති රටක් ලෙස සැම්බියාවේ ප‍්‍රතිරූපයට මෙමගින් ඇති විය හැකි බලපෑමද මෙහිදී අවධානයට ලක්ව තිබෙන කරුණකි. මිට පෙර 2016 වර්ෂයේදිද සැම්බියා රජය මෙම යෝජනාව සාකච්ඡුාවට ගත්තද ඊට එරෙහිව නැගුණු දැඩි විරෝධය නිසා එය හකුලා ගන්නට යෙදුණි.

සාගර ප‍්‍රවාහ නිසා උෂ්ණත්වය ඉහළට

ජගත් පරිසර පුවත් 273 - 25.07.2018


ධනේෂ් විසුම්පෙරුම
විදුසර, 25.07.2018, පි. 3 (Vidusara)



සාගර ප‍්‍රවාහවල වේගය අඩු වීම හා දුර්වල වීම නිසා ඇති විය හැකි තත්ත්වය ලෝකයේ අවධානයට ලක් වූයේ කලක පටන්ය. නිදසුනක් ලෙස ‘අත්ලාන්තික් මධ්‍යාහ්න පෙරළුම් සංසරණය’ (Atlantic Meridional Overturning Circulation (Amoc)) ලෙස හඳුන්වන සාගර ප‍්‍රවාහය නිසා ලෝකයේ ප‍්‍රදේශ රැුසක උෂ්ණත්වය අඩු වී දැඩි ශීත තත්ත්වයක් ඇති වෙතැයි අදහසක් පවතී. 2004 දී තිරගත වූ The Day After Tomorrow චිත‍්‍රපටයේ කතා තේමාව වූයේ උක්ත ප‍්‍රවාහය අක‍්‍රිය වීම නිසා ඇති වූ දැඩි ශීත තත්ත්වයකි. එහෙත් මේ පිළිබඳව සිදුකරන ලද, පසුගියදා පළ වූ අධ්‍යයන වාර්තාවකට අනුව මෙම සාගර ප‍්‍රවාහය දුර්වලවීම නිසා ලෝකයේ උෂ්ණත්වයට සැලකිය යුතු බලපෑමක් විය හැකි වුවත් එය එවැනි සිසිල් වීමක් නොවේ.

මෙක්සිකෝ බොක්ක ප‍්‍රදේශයෙන් ආරම්භ වන මෙම ප‍්‍රවාහය උතුුරු ඇමරිකාවට නුදුරින් ගලා ගොස් අත්ලාන්තික් සාගරය හරහා අයර්ලන්තය හා බි‍්‍රතාන්‍යය ආසන්නයෙන් යුරෝපයට ළඟා වෙයි. මෙය යුරෝපා ප‍්‍රදේශයේ උෂ්ණත්වය ඉහළ යෑමට හේතු වන බව විශ්වාස කරන ලදි. මෙම නව අධ්‍යයනයෙන් පෙනී යන්නේ ලෝකයේ තාපය බෙදාහැරීම පිණිස වැදගත් කාර්යයක් මෙම සාගර ප‍්‍රවාහය සිදුකරන බවයි. මෙම ප‍්‍රවාහය වේගයෙන් ගමන්කරන විට වායුගෝලයේ ඇති වාතයේ තාපයෙන් වැඩි ප‍්‍රමාණයක් එමගින් උරාගෙන සාගරයේ මීටර් 1500ක් පමණ ගැඹුරට ගෙන ගොස් ගබඩා කෙරේ. එහෙත් ප‍්‍රවාහයේ වේගය අඩු වන විට සාගර ප‍්‍රවාහය මගින් උරාගන්නා තාපය අඩු වන අතර, එනිසා වායුගෝලයේ උෂ්ණත්වය ඉහළ යයි. 1975-1998 අතර සමය මෙම ප‍්‍රවාහයේ වේගය අඩු වූ කාලයක් වන අතර, එනිසා ලෝකයේ උෂ්ණත්වය ක‍්‍රමයෙන් ඉහළ ගොස් ඇත. ඉන් පසුව ඇති වී තිබෙන්නේ වැඩි වේගයක් ඇති වකවානුවකි. යළිත් 2004 පමණ සිට ප‍්‍රවාහයේ වේගයේ දැඩි අඩුවීමක් ඇති බැවින් වායුගෝලයේ උෂ්ණත්වය ඉහළ යයි. එය තවත් වසර 20ක් පමණ කාලයක් පවත්නා බව සිතිය හැකිය.

පසුගිය වසර 70ක කාලයේදී මෙම සාගර ප‍්‍රවාහයේ සිදුව ඇති වෙනස්කම් මෙම අධ්‍යයනයේදී විමසා බලා ඇත. එහිදී සාගර ප‍්‍රවාහයේ වේගය අඩු වීම හා වේගය වැඩි වීම ස්වාභාවිකව සිදුවන බව හඳුනාගෙන තිබෙයි. මෙසේ ස්වාභාවිකව සිදුවන විචල්‍යයේ බලපෑම මානව බලපෑමට වඩා අධිකය. (මූලාශ‍්‍රය: Nature, DOI: 10.1038/s41586-018-0320-y)

මාළු දැල්වලට අසුවන වෙනත් සතුන් බේරාගැනීමට විදුලි බුබුළු

ජගත් පරිසර පුවත් 272 - 18.07.2018


ධනේෂ් විසුම්පෙරුම
විදුසර, 18.07.2018, පි. 3 (Vidusara)



මසුන් ඇල්ලීම සඳහා යොදාගන්නා දැල්වලට හසුවීමෙන් පක්ෂීන් හා වෙනත් සාගර ජීවීන් මිය යෑම පාරිසරික වශයෙන් බරපතළ ගැටලූවකි. මේ ඇතැම් සතුන් තර්ජනයට ලක්ව ඇති ජීවීන් වීම එයට හේතුවයි. මෙසේ ධීවර කර්මාන්තයේදී නිරපරාදේ ජීවිත අහිමිවන ජීවීන් ආරක්ෂා කරගත හැකි සරළ හා ලාබදායක ක‍්‍රමවේදයක් පිළිබඳව පර්යේෂණයකින් පෙන්වා දී තිබෙයි. ඒ අනුව සාගරයේ යොදන කරමල් දැල්වලට (gill net) LED විදුලි බුබුළු සවි කිරීමෙන් එ්වාට මුහුදු පක්ෂීන් හා වෙනත් සාගර වාසී සතුන් හසු වීම සැලකිය යුතු ප‍්‍රමාණයකින් අඩු කරගත හැකිය.

පේරු රාජ්‍යයේ සිදු කර ඇති මෙම අධ්‍යයනය සන්ධ්‍යාකාලයේ සිට පසුදා උදෑසන දක්වා මුහුදේ යොදනු ලබන කරමල් දැල් යොදාගෙන සිදුකර ඇත. එහිදී පෙනී ගොස් ඇති පරිදි LED විදුලිබල්බ සවිකර ඇති මාළු දැල්වලට හසු වන දේශීය දියකාවුන් විශේෂයක පක්ෂින් ගණන 85.1%ක් පමණ ප‍්‍රමාණයකින් අඩු වී තිබෙයි. සංඛ්‍යාත්මකව දැක්වුවහොත්, මෙම අධ්‍යයනයේදී විදුලි බුබුළු සවි කළ දැල්වලට පක්ෂීන් 6 දෙනෙකු පමණක් හසු වී ඇති අතර, විදුළු බුබුළු සවි නොකළ දැල්වලට පක්ෂීන් 39ක් හසු වී ඇත. එම පක්ෂීන් සාමාන්‍යයෙන් නිතර මාළු දැල්වලට හසුවන පක්ෂි විශේෂයකි. එසේම මෙම පර්යේෂණ කණ්ඩායම මීට පෙර සිදුකර ඇති තවත් අධ්‍යයනයකදී පෙනී ගොස් ඇති ආකාරයට මෙවැනි විදුලි බුබුළු සවි කිරීම මගින් මාළු දැල්වලට හසු වන විවිධ විශේෂවලට අයත් මුහුදු කැස්බෑවුන් ගණන 64%කින් පමණ අඩු කරගත හැකි වී ඇත.

මෙහි ඇති වැදගත්කම වන්නේ LED විදුලි බුබුළු මගින් පක්ෂීන් හා සමුද්‍ර ජීවීන් ආරක්ෂා කරගැනීම සඳහා වඩා ලාබදායී, විශ්වාසය තැබිය හැකි හා දිගුකාලයක් පවත්නා ක‍්‍රමවේදයක් ලෙස යොදාගතහැකි වීමයි. එය බහු විධ ජීවී විශේෂ සඳහා ඵලදායී ලෙස යෙදාගත හැකිවීම වැදගත් වන අතර, එය සිදුවන්නේ මත්ස්‍ය අස්වැන්නේ කිසිදු අඩුවීමක් සිදු නොවන අතර වීම මෙහි ඇති විශේෂිත සිදුවීමයි. (මූලාශ‍්‍රය: Royal Society Open Science, DOI: 10.1098/rsos.180254)

ආසියානුවන් වායු දූෂණයට ලක්වීම අධිකයි

ජගත් පරිසර පුවත් 272 - 18.07.2018


ධනේෂ් විසුම්පෙරුම
විදුසර, 18.07.2018, පි. 3 (Vidusara)



ඇමරිකාවේ හෝ යුරෝපයේ වාසය කරන්නවුන්ට වඩා ආසියානුවන් එළිමහනේ මාර්ගස්ථ වායු දූෂණයට ලක්වීම අධික බව එ් පිළිබඳව සිදු කළ සවිස්තර අධ්‍යයනයකින් අනාවරණය වී ඇත. ආසියාවේ ප‍්‍රවාහන ක්ෂේත‍්‍රයට අදාළ ක්ෂුද්‍ර පරිසර පිළිබඳව සිදුකර ඇති අධ්‍යයන ගැන මෙහිදී අවධානය යොමු කර තිබෙයි. එ් අනුව, ඇවිදීම, වාහන ධාවනය, බයිසිකල් පැදීම, මෝටර්සයිකල් පැදීම හා බස්රථ ධාවනය වැනි අවස්ථාවලදී වායු දූෂණයට නිරාවරණය වීම හා දූෂක සාන්ද්‍රණ මට්ටම් සම්බන්ධව අවධානය යොමු කර ඇත. එහිදී සියුම් අංශුමය ද්‍රව්‍ය (PM2.5 කාණ්ඩයේ අංශුමය ද්‍රව්‍ය), කළු කාබන්, අති සියුම් අංශු (ultrafine particles – UFP - මයික්‍රොමීටර් 0.1ට අඩු අංශු) වැනි වායු දූෂණයේ විවිධ අංශු පිළිබඳව අවධානය යොමු කර තිබේ.

මෙහිදී හෙළි වී ඇති ආකාරයට ආසියාවේ කාර්යබහුල නගරයක පදිකයකු නිරාවරණය වන සියුම් අංශු මට්ටම (ඝන මීටරයකට මයික්‍රෝ ග‍්‍රෑම් 42) යුරෝපයේ පදිකයකුට වඩා 1.6 ගුණයක් අධිකය. එසේම ආසියාවේ බස් රථවල (76 μg m-3) හා කාර් රථවල (74 μg m-3) PM2.5 කාණ්ඩයේ සියුම් අංශුමය ද්‍රව්‍ය මට්ටම යුරෝපයේ හා ඇමරිකාවේ මෙන් දෙගුණයක් හෝ තෙගුණයක් තරම් ඉහළය. ආසියානු කාර් රියැදුරෙකු ඇමරිකානු හෝ යුරෝපීය කාර් රියැදුරකුට වඩා නව ගුණයක් අධික වායු දූෂණයකට නිරාවරණය වෙයි. ස්ථානීය වශයෙන් ගත් විට, හොංකොංවල අති සියුම් අංශු මට්ටම යුරෝපයට වඩා සිව් ගුණයක් තරම් වන අතර, නවදිල්ලියේ කළු කාබන් මට්ටම යුරෝපයේ හෝ උතුරු ඇමරිකාවේ මෙන් පස් ගුණයක් තරම් අධිකය.

ආසියාවේ වායු දූෂණය බෙහෙවින් අවධානයට ලක් වූ කරුණකි. ආසියාවේ අඩු හා මධ්‍ය ආදායම් ලබන රටවල ඇතිවන අකල් මරණ අතරින් 88%ක් පමණ ඇති වන්නේ වායු දූෂණය නිසා බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. එසේම ආසියාවේ ධාවනය වන රථවාහන ප‍්‍රමාණයද ඉතා වේගයෙන් ඉහළ යමින් තිබෙයි. ඒ අනුව වායු ධූෂණයට නිරාවරණය වීම වැළැක්වීම සඳහා සාධනීය පියවර නොගන්නේ නම් මේ ගැටලූව තවදුරටත් බරපතළ විය හැකි බව පැහැදිලිය. (මූලාශ‍්‍රය: Atmospheric Environment, DOI: 10.1016/j.atmosenv.2018.05.046)

පැරිස් ඉලක්ක අත්පත්කරගැනීම සඳහා තව බොහෝ දේ කළ යුතුයි

ජගත් පරිසර පුවත් 271 - 11.07.2018


ධනේෂ් විසුම්පෙරුම
විදුසර, 11.07.2018, පි. 3 (Vidusara)



පැරිස් ගිවිසුමේ සඳහන් වන දේශගුණ ඉලක්ක අත්පත් කරගැනීම හෙවත් මිහිතලය උණුසුම් වීම පාලනය කිරීම අවශ්‍ය නම් එ් සඳහා තවත් බොහෝ දේ කළ යුතුව ඇති බව පසුගියදා ප‍්‍රකාශයට පත් වූ අධ්‍යයනයකින් යළිත් තහවුරු කර ඇත. එ් අනුව වර්තමාන දේශගුණ ප‍්‍රතිපත්ති යටතේ හා පිරිසිදු බලශක්ති නිෂ්පාදන ප‍්‍රයත්නය යටතේ, කර්මාන්ත ප‍්‍රවාහනය හා ගොඩනැගිලි උණුසුම් කිරීම සඳහා පොසිල ඉන්ධන යොදාගැනීම මගින් කාබන් ඩයොක්සයිඞ් වායු විමෝචන අධික ලෙස නිකුත් විය හැකි අතර, එ් නිසා පැරිස් දේශගුණ ඉලක්ක අත්පත් කරගත නොහැකි තත්ත්වයක් ඇති විය හැකිය.

මේ අනුව බලශක්ති කාර්යක්ෂමතාවය ඉහළ නැංවීමෙහි හා කාබන් ශුන්‍ය වූ පිරිසිදු බලශක්තිිය සම්පාදනයේ ඇති වැදගත්කම මේ අනුව පැහැදිලිය. එසේ නොවුවහොත් පැරිස් ගිවිසුමෙන් අපේක්ෂිත ඉලක්කය වන ලෝකයේ උෂ්ණත්වය ඉහළ යෑම සෙල්සියස් අංශක 2කට සීමාකිරීම සඳහා වන ප‍්‍රයත්නය කාබන් ඩයොක්සයිඞ් වායුව ඉවත් කිරීම වැනි ක‍්‍රියාමාර්ග ගැනීමට සිදු විය හැකිය. එසේම අංශක 1.5කට උෂ්ණත්වය ඉහළ යෑම සීමා කිරීම සිදු කළ නොහැකි දෙයක් වනු ඇත. මෙම අධ්‍යයනය සිදු කර ඇත්තේ දේශගුණ වෙනස් වීම හා සම්බන්ධ ආකෘති කිහිපයක් පදනම් කරගනිමිනි.

වර්තමාන ලෝකයේ බරපතළම ගැටලූව ලෙස හඳුනාගෙන ඇති දේශගුණ වෙනස් වීම සඳහා ඉදිරිපත්ව ඇති විසඳුම වන්නේ පැරිස් දේශගුණ ගිවිසුමයි. එහෙත් එය පදනම්ව ඇත්තේ ලෝකයේ රටවල් විසින් ස්වේච්ඡාවෙන් ප‍්‍රකාශයට පත්කර ඇති ජාතිකමය නිර්ණය කරන ලද දායකත්වයන් (NDC) මතය. එහෙත් මේ වන විට එ් එ් රටවල් විසින් දක්වා ඇති දායකත්ව මත හා පවත්නා තත්ත්වය අනුව පැරිස් ගිවිසුමෙන් ප‍්‍රකාශිත ඉලක්ක අත්පත් කරගැනීම ඇතැම් විට සැකසහිත විය හැකි බව මේ වන විට අධ්‍යයන ගණනාවකින්ම දක්වා ඇත. මෙම අධ්‍යයනයද එම අධ්‍යයන සමූහයට එක්වන තවත් එක් අධ්‍යයනයකි. එ්වායින් පෙන්වා දෙන කරුණ වන්නේ ලෝකය අවදානමෙන් බේරාගැනීමට නම් අදට වඩා ප‍්‍රබල ආකාරයේ ක‍්‍රියාකාරිත්වයක් අවශ්‍යව ඇති බවයි. (මූලාශ‍්‍රය: Nature Climate Change, DOI: 10.1038/s41558-018-0198-6)

ඉහළ යන මුහුදු මට්ටමේ ආර්ථික බලපෑම

ජගත් පරිසර පුවත් 271 - 11.07.2018


ධනේෂ් විසුම්පෙරුම
විදුසර, 11.07.2018, පි. 3 (Vidusara)



2100 වන විට මුහුදු මට්ටම ඉහළ යෑමෙන් ඇති වන ජලගැලීම් හේතුවෙන් ඇති විය හැකි හානියේ ආර්ථික අගය වාර්ෂිකව ඩොලර් ටි‍්‍රලියන 14ක් පමණ විය හැකි බව අධ්‍යයනයකින් පෙන්වාදී තිබේ. එ් ලෝකයේ උෂ්ණත්වය ඉහළ යෑම පූර්ව කාර්මික අවධියට වඩා අංශක දෙකක සීමා කළ නොහැකි වුවහොත්ය.

මෙම අධ්‍යයනයේදී සිදුකර ඇත්තේ උෂ්ණත්වය ඉහළ යෑම අංශක 1.5 හා අංශක 2 සිමාවේ පවත්වා ගතහොත් හා කිසිදු වළක්වාගැනීමේ තත්ත්වයක් නොමැති සංසිද්ධියකදී ඇති විය හැකි මුහුදු මට්ටම ඉහළ යෑමෙහි බලපෑම් සංසන්දනය කිරීමයි. ඒ අනුව 2100 වර්ෂය වන විට අංශක 1.5ක උෂ්ණත්ව ඉහළ යෑමකදී සෙන්ටිමීටර් 52කින්ද, අංශක 2ක් සඳහා සෙ.මී. 63කින්ද මුහුදු මට්ටම ඉහළ යා හැකි බව අනාවරණය වී ඇත. එසේම අංශක 2 ඉලක්කය අත්පත්කරගත නොහැකි වුවහොත්, මුහුදු මට්ටම මීටර් 0.86ක මධ්‍යන්‍ය අගයකින් ඉහළ යා හැකිය. එවැනි අවස්ථාවකදී වාර්ෂික හානිය ඩොලර් ටි‍්‍රලියන 14ක් පමණ විය හැකිය. එසේම මුහුදු මට්ටම උපරිම වශයෙන් මීටර් 1.8ක් ඉහළ යා හැකි අතර, එවිට ඇති වන වාර්ෂික හානිය ඩොලර් ටි‍්‍රලියන 27ක් පමණ වනු ඇත.

ජලගැලීම් නිසා වැඩිම වියදමක් දැරීමට සිදුවන්නේ ඉහළ මධ්‍යම මට්ටමේ ආදායම් ලබන රටවලට බවද මෙහිදී හෙළි වී තිබෙයි. නිදසුනක් ලෙස චීනය දැක්විය හැකිය. එසේම, ඉහළ ආදායම ලබන රටවල් මෙමගින් අඩු බලපෑමකට ලක්වන රටවල් අතර වෙයි. එයට හේතු වන්නේ මෙවැනි ජලගැලීම්වලින් ආරක්ෂා වීම සඳහා අවශ්‍ය කරන යටිතල පහසුකම් එ් රටවල පැවතීමයි. ලෝක ජනගහනයෙන් මිලියන 660ක පමණ පිරිසක් අඩු උන්නතාංශයක් සහිත වෙරළබඩ ප‍්‍රදේශවල හෙවත් මුහුදු මට්ටමේ සිට මීටර් 10ක සීමාවේ, වාසය කරති. දේශගුණ වෙනස් වීමත් සමඟ ඇතිවන ග්ලැසියර හා අයිස් තට්ටු දියවීමත් සමඟ හා සාගර ජලයේ තාප ප‍්‍රසාරණය සමඟ මුහුදු මට්ටම ඉහළ යෑම සිදු වෙයි. මේ හේතුව නිසා මුහුදු මට්ටම ඉහළ යෑම වඩාත් බරපතළ විපාක ඇති කළ හැකි සිදුවීමකි. (මූලාශ‍්‍රය: Environmental Research Letters, DOI: 10.1088/1748-9326/aacc76)

මීමැස්සන් අඩුවීමට දේශගුණ වෙනස්වීමත් හේතුවක්

ජගත් පරිසර පුවත් 270 - 04.07.2018


ධනේෂ් විසුම්පෙරුම
විදුසර, 04.07.2018, පි. 3 (Vidusara)



ප‍්‍රාදේශීය වශයෙන් මී මැසි ගහන අඩුවීමට දේශගුණ වෙනස් වීමත් එක හේතුවක් විය හැකි බව අධ්‍යයනයක් මගින් පෙන්වාදී තිබෙයි. ඇරිසෝනා ප‍්‍රාන්තයේ සිදුකර ඇති මෙම අධ්‍යයනයට අනුව ස්වාභාවිකව උණුසුම් තත්ත්ව පවත්නා ප‍්‍රදේශවල මෙවැනි තත්ත්ව ඇති වීමට අවස්ථාව ඇත.

බටහිර ඇමරිකාවේ හා මෙක්සිකෝවේ දැකිය හැකි Osmia ribifloris නම් මීමැසි විශේෂයක් සම්බන්ධව සිදුකර ඇති මෙම අධ්‍යයනයේදී අනාගතයේ දී (2040 සිට 2099 දක්වා වූ කාලයේදී) ඇති විය හැකි යැයි අපේක්ෂිත උණුසුම් දේශගුණ තත්ත්වයක් හා සමාන තත්ත්වයක් මී වදවලට ලබාදී ඇත. එ් සඳහා යොදාගෙන ඇත්තේ මී වද පෙට්ටි වෙනස් වර්ණවලින් පාට කිරීමේ ක‍්‍රමයකි. එහිදී පෙනී ගොස් ඇති ආකාරයට පළමු වර්ෂය තුළ වසරේ මීමැස්සන්ගෙන් 35%ක් පමණ මියගොස් ඇති අතර, දෙවැනි වර්ෂයේදී 70%ක් පමණ ප‍්‍රමාණයක් මියගොස් තිබෙයි. සමස්තයක් ලෙස 30%-75% අතර මරණ අනුපාතිකයක් පෙන්වා තිබේ. එහෙත් පාලකය ලෙස යොදාගත් මී වදවල දැකිය හැකි වී ඇත්තේ 1%-2% අතර වූ මරණ අනුපාතිකයකි. මේ අනුව ඉහළ උෂ්ණත්වයක් යටතේ මී මැසි ගහනවල අඩුවීමක් දැකිය හැකි බව පැහැදිලිය. මේ අනුව ඇති විය හැකි ප‍්‍රාදේශීය ගහන බිඳවැටීමකට මේ තත්ත්වය හේතු විය හැකිය.

මේ අනුව අධික උෂ්ණත්වය මී මැස්සන්ගේ දේහවල දරාගැනීමේ හැකියාවේ උපරිමයට ළ`ගා වීමක් සිදුවන බව පැහැදිලිය. එහි ප‍්‍රතිඵලයක් ලෙස අදාළ විශේෂයේ වඩා උණුසුම් ප‍්‍රදේශවල වාසය කරන ගහනවල අඩුවීම් දැකිය හැකි වෙතැයි අපේක්ෂා කරන බව පර්යේෂකයන්ගේ අදහස වෙයි. මී මැස්සන් වැදගත් වන්නේ පරාගණකාරකයන් ලෙසය. මෙහි ඇති වදැගත්කම හුදෙක් භෝගවගාවලට පමණක් සිමා වන්නේ නැත. එය වන මල් මෙන්ම සෙසු ජෛව විවිධත්වයටද වැදගත් වන්නකි. මේ නිසා මීමැස්සන්ට වන බලපෑම් පිළිබඳව අවධානය යොමු කිරීම වැදගත් බව පැහැදිලිය. (මූලාශ‍්‍රය: Functional Ecology, DOI: 10.1111/1365-2435.13151)