Tuesday, February 20, 2024

උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.5 ඉක්මවූ වසරක කාලයක්

ජගත් පරිසර පුවත් 509

ධනේෂ් විසුම්පෙරුම 

විදුසර, 2024-02-21, පි. 2

ලෝකයේ සාමාන්‍ය වායුගෝලීය උෂ්ණත්වය, පූර්ව කාර්මික අවධියේ පැවති උෂ්ණත්වයට වඩා සෙල්සියස් අංශක 1.5ක ඉහළ මට්ටමක සම්පූර්ණ වර්ෂයක් හෙවත් දින 365ක කාලයක් පුරා මුල්වරට පැවති බව පසුගියදා වාර්තා විය. ඒ අනුව, 2023 පෙබරවාරි සිට 2024 ජනවාරි දක්වා වූ කාලයේ දී ලෝකයේ සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.52ක් ඉහළ විය. යුරෝපයේ කොපර්නිකස් දේශගුණ වෙනස්වීම් සේවය මේ බව පෙන්වා දෙයි. ලෝකයේ මෙවැන්නක් වාර්තා වන ප්‍රථම අවස්ථාව මෙය වීම වැදගත් කරුණකි. දේශගුණ වෙනස් වීම හමුවේ ලෝකය පිළිගත් (පැරිස් ගිවිසුම අනුව ද) ආරක්ෂිත උෂ්ණත්ව සීමාව වූ අංශක 1.5 අගය ස්ථිරව ඉක්ම වූ බවක් මින් නොකියවෙන නමුත්, ලෝකයේ සමාන්‍ය උෂ්ණත්වය ඒ මට්ටමට පැමිණීමට වැඩි කාලයක් නොමැති බවක් මේ තත්ත්වය මගින් ඉඟි කෙරේ. අනෙක් අතට, ගත වූ වර්ෂයේ පැවැති ආන්තික කාලගුණ තත්ත්ව මෙවැනි තත්ත්වයක දී පැවතිය හැකි ස්වභාවය පිළිබඳව සාධක සපයයි.

මේ අතර 2024 පෙබරවාරි මාසයේ දී ලෝකයේ ප්‍රදේශ රැසක උෂ්ණත්ව පිළිබඳ වාර්තා අලුත් වෙමින් ඇති බව කාලගුණ විද්‍යාඥයන් විසින් පෙන්වා දී ඇත. මේ දක්වා ලෝකයේ වාර්තා වී ඇති උණුසුම අධිකතම පෙබරවාරි මාසය ඇතිවෙමින් තිබෙන බව පෙනේ. මේ මාසයේ මුල් දින අට තුළ ගෝලීය පෘෂ්ඨීය උෂ්ණත්වය මෙතෙක් වාර්තාගත ඉහළම අගය වීම මේ සඳහා සාධක වේ. එසේම, රටවල් ගණනාවක මේ තත්ත්වය ඇති වී තිබේ. මිනිසුන් විසින් සිදුකරන ලද ගෝලීය උණුසුම හා එල් නිනෝ තත්ත්වය හේතුවෙන් මේ තත්ත්වය ඇති වී තිබෙයි. මේ ඇතිවෙමින් පවතින්නේ එල් නිනෝ බලපෑමේ උපරිම අවස්ථාව වන අතර එය ඉදිරි මාස කිහිපයක කාලයේ දී ක්‍රමයෙන් අඩු වී යා හැකිය.

Saturday, February 17, 2024

හිම වලසුන්ට කුසගින්නේ ඉන්න වෙලා!

ජගත් පරිසර පුවත්

ධනේෂ් විසුම්පෙරුම 

Blog පුවතක් පමණි, 2024-02-18

ආක්ටික් සාගරයේ අයිස් දියවීමත් සමඟ භූමිය මත ජීවත් වීම සඳහා හැඩගැසීමට නොහැකි වීමෙන් හිමබ වලසුන් කුසගින්නේ පසුවන බව විද්‍යාඥයන් විසින් පෙන්වා දී තිබේ. 

ආක්ටික් ප්‍රදේශයෙ ජීවත්වන මේ වලසුන්ගේ ප්‍රධාන ආහාරය වන්නේ රිංග්ඩ් සීල් නමින් හඳුන්වන සාගරයේ දී අල්ලා ගත හැකි සීල් මත්ස්‍යයින්ය.

එහෙත් ආක්ටික් සාගරය මත අයිස් දියැනීමත් සමග ම් වලසුන් සැලකිය යුතු පිරිසකට ගොඩබිම වෙරළ ප්‍රදේශයේ ජීවත් වන කාලය ඉහළ යයි. මේ කාලයේ දී කුරුලු බිත්තර, ගෙඩි වර්ග හා තණකොල ආහාරයට ගැනීමට සිදුව තිබේ. එහෙත් මෙසේ වැඩි වශයෙන් ගොඩබිම ජීනවත්වන වලසුන්ගේ දේහ බර අඩුවීම සිදු වන අතර, අධයයවයට ලක් කළ වලසුන් 20ක් අතරින් 19කගේ දේහ බර අඩු වී තිබේ. ඒ ප්‍රමාණය දිනකට කිලෝග්‍රෑම් 0.4 සිට 1.7 දක්වා තරම් විය හැකිය. මෙසේ කුසලගින්නේ පසුවන වලසුන් මරණයට පත් වීමේ අවදානම  ඉහළය.

මූලාශ්‍රය - Nature Communications, DOI: 10.1038/s41467-023-44682-1

https://www.nature.com/articles/s41467-023-44682-1

Tuesday, February 6, 2024

ඇමසන් නියඟයට ප්‍රධාන හේතුව දේශගුණ වෙනස් වීමයි

ජගත් පරිසර පුවත් 508

ධනේෂ් විසුම්පෙරුම 

විදුසර, 2024-02-07, පි. 2

ඇමසන් වනාන්තරයේ පසුගිය වර්ෂයේ දී ඇති වූ දැඩි නියඟය වසර පනහක පමණ කාලය තුළ ඇතිවූ බරපතළම නියඟ තත්ත්වය විය. ඒ සඳහා බලපා ඇති ප්‍රධාන සාධකය වන්නේ දේශගුණ වෙනස් වීම බව අධ්‍යයනයකින් පෙන්වා දී තිබේ. ඒ සඳහා දේශගුණ වෙනස් වීම බලපා ඇත්තේ ආාර දෙකකිනි. එකක් නම් සාමාන්‍යයෙන් වර්ෂාව නොලැබෙන කාලයේ දී ඇති වන තත්ත්වය උග්‍ර කිරීමට අධික උෂ්ණත්වයක් හේතු වීමයි. අනෙක වන්නේ උණුසුම් උෂ්ණත්වයක් පවත්නා විට පසෙන් හා ශාකවලින් ජලය වැඩි වශයෙන් වාෂ්පීකරණය වීමයි.

මේ තත්ත්වය කෙසේ ද යත්, දේශගුණ වෙනස් වීම නිසා ලෝකයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.2කින් ඉහළ ගොස් නොතිබුනේ නම්, ඇමසන් කලාපයේ මෙවැනි නියඟයක් ඇති විය හැක්කේ අවුරුදු 1500කට පමණ කාලයකට වරකි. එහෙත් දැන් පවත්නා තත්ත්වය අනුව එවැන්නක් වසර 50කට වරක් වුව ද ඇති විය හැකිය.

එසේම මේ ආකාරයෙන් නියඟය වැනි ආපදාවලට ලක්වීම සඳහා වනාන්තර විනාශය හේතුවෙන් වනාන්තර හායනයට ලක්ව තිබීම ද හේතුවකි. එසේම, පවත්නා එල් නිනෝ තත්ත්වය ද මේ සඳහා බලපා ඇතත් ප්‍රධාන හේතුව එය නොවන බව මේ අධ්‍යයන‌යෙන් පෙන්වා දී ඇත.

ඇමසන් වනාන්තරයේ නියඟ ඇති වීම එතරම් දුර්ලභ නොවූවත්, පසුගිය වර්ෂයේ ඇති වූ නියඟය බරපතළ හා අසාමාන්‍ය ලෙස දැඩි වූවකි. මෙවැනි දැඩි නියඟයකින් වනාන්තරට, එහි වෙසෙන ජීවීන්ට මෙන්ම මිනිසුන්ට ද බලපෑම් සිදුවිය හැකිය. මෙසේ නියඟයේ බලපෑම නිසා විනාශ වෙමින් ඇති ඇමසන් වනාන්තරය යනු ලෝග දේශගුණ වෙනස් වීම පාලනය කිරීමේ ලා ඉතා වැදගත් වන පරිසර පද්ධතියක් වීම මෙහි ඇති කණගාටුදායක කරුණ වේ. (මූලාශ්‍රය - Climate change, not El Niño, main driver of extreme drought in highly vulnerable Amazon River Basin, DOI:10.25561/108761)

ස්වාභාවික සම්පත් නිස්සාරණ ඉහළ යෑම වැළැක්විය යුතුයි

ජගත් පරිසර පුවත් 508

ධනේෂ් විසුම්පෙරුම 

විදුසර, 2024-02-07, පි. 2

විවිධ අමුද්‍රව්‍ය ලෙස යොදාගන්නා ස්වාභාවික සම්පත් නිස්සාරණය කිරීම 2060 වර්ෂය වන විට 60%කින් පමණ ඉහළ යා හැකි බව පෙබරවාරි මාසයේ දී ප්‍රකාශයට පත් වීහට නියමිත එක්සත් ජාතීන්ගේ වාර්තාවකින් පෙන්වා දී ඇති බව ‘ද ගාඩියන්’ වෙබ් අඩවිය පෙන්වා දෙයි. මේ තත්ත්වය දේශගුණය මෙන්ම පරිසරය සම්බන්ධව ද බරපතළ ප්‍රතිඵල ඇති කළ හැකි තත්ත්වයක් බැවින් එය පාලනය කළ යුතු බව පැහැදිලිය.

වසර පහකට වරක් නිකුත් කරන ගෝලීය සම්පත් දැක්ම (UN Global Resource Outlook) මේ වාර්තාව අනුව වර්තමානයේ ලොකයේ දැකිය හැකි කාර්මිකකරණය, නාගරිකකරණය හා ජනගහන වර්ධනය හේතුවෙන් ස්වාභාවික සම්පත් නිස්සාරණය කිරීම 1970 සිට මේ දක්වා ගත වී ඇති කාලය තුළ 400% ක් පමණ ප්‍රමාණයකින් වර්ධනය වී තිබේ. මේ ආකාරයෙන් ස්වාභාවික සම්පත් නිස්සාරණය කිරීම ගෝලීය උණුසුමේ බලපෑමෙන් 60%කට (භූමි භාවිතයේ වෙනස්කම් ඇතුළත්ව), වායු දූෂණයේ බලපෑමෙන් 40%කට, ගෝලීය ජල ආතතියෙන් මෙන්ම ජෛව විවිධත්වය අහිමිවීමෙන් 90%කට තරම් හේතු වේ.

මේ තත්ත්වය මත උක්ත වාර්තාව මගින් යෝජනා කරන්නේ සමස්තයක් ලෙස අමුද්‍රව්‍ය සඳහා ඇති ඉල්ලුම අඩු කිරීම සිදු කළ යුතු බවයි. එසේ නොමැතිව, හුදෙක් හරිත නිෂ්පාදනය ඉහළ නැංවීම මේ තත්ත්වයට පිළියමක් නොවන බව ඔවුන්ගේ අදහස වේ. නිදසුනක් ලෙස සාමාන්‍ය කාර් රථයක් සඳහා අවශ්‍ය ඉතා වැදගත් අමුද්‍රව්‍ය ප්‍රමාණය මෙන් දස ගුණයක් පමණ අමුද්‍රව්‍ය ප්‍රමාණයක් විදුලි කාර් රථයක් සඳහා අවශ්‍ය වේ. මේ නිසා සම්පත් නිස්සාරණය මගින් පරිසරයට හානි සිදුවීම වැළැක්වීමට නම්, දුරස්ථව වැඩ කිරීම, ප්‍රාදේශීය වශයෙන් සේවා සැපයීම හා අඩු කාබන් ප්‍රවාහන විකල්ප (දුම්රිය වැනි) ප්‍රවර්ධනය කිරීම වැනි පියවර හරහා ප්‍රවාහන පද්ධතිය හරිතවත් කිරීම වඩා සුදුසුය.

Wednesday, January 24, 2024

2023 ඉහළම උෂ්ණත්වය ඇති වූ වර්ෂයයි!

ජගත් පරිසර පුවත් 507

ධනේෂ් විසුම්පෙරුම 

විදුසර, 2024-01-24, පි. 2
ලෝකයේ උෂ්ණත්වය වාර්තා කිරීම ආරම්භ කළ පසුව මෙතෙක් වාර්තා වී ඇති ඉහළම සාමාන්‍ය උෂ්ණත්වය 2023 වර්ෂයේ දී වාර්තා වී ඇති බව මේ වන විට තහවුරු කරගෙන තිබේ. එසේම මීට පෙර වාර්තා වී ඇති ඉහළම උෂ්ණත්වය පැවති වර්ෂය හා 2023 වර්ෂයේ පැවති උෂ්ණත්වය අතර පුළුල් පරතරයක් පැවතීම ද විශේෂයකි.  

ලෝකයේ ප්‍රධාන ජාත්‍යන්තර දත්ත කට්ටල හයක් යොදාගනිමින් ලෝක කාලගුණ විද්‍යා සංවිධානය මගින් මේ පිළිබඳ තහවුරු කර ඇත. ඒ අනුව 1850-1900 අතර කාලයේ පැවති පූර්ව කාර්මික අවධියේ පැවති ගෝලීය සාමාන්‍ය උෂ්ණත්වයට වඩා 2023 වර්ෂයේ උෂ්ණත්වය සෙල්සියස් අංශ 1.45කින් ඉහළය.

ඇමරිකාවේ නාසා ආයතනයේ පදනම් දත්ත වන 1951-1980 අතර කාලයේ පැවති ගෝලීය සාමාන්‍ය උෂ්ණත්වයට වඩා 2023 උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.2කින් ඉහළ බව පෙන්වා දී ඇත. මේ අගය පූර්ව කාර්මික අවධියේ පැවති උෂ්ණත්වයට වඩා අංශක 1.4ක් ඉහළය.

ඇමරිකාවේ ජාතික සාගරික හා වායුගෝලීය පරිපාලනයේ (NOAA) දත්ත අනුව, 2023 වර්ෂයේ ලෝකයේ සාමාන්‍ය උෂ්ණත්වය 20 වැනි සියවසේ සාමාන්‍යයට වඩා සෙල්සියස් අංශක 1.18කින් ඉහළය. එසේම, ඒ අගය මීට පෙර පැවති ඉහළම සාමාන්‍ය උෂ්ණත්වය වූ 2016 වර්ෂයේ සාමාන්‍ය උෂ්ණත්වයට වඩා සෙල්සියස් අංශක 0.15ක් ඉහළය. මේ වෙනස ද වාර්තාගත වර්ධනයකි.

2023 වර්ෂයේ, විශේෂයෙන් එහි දෙවන භාගයේ ඇති වූ, වාර්තා ගත ඉහළ උෂ්ණත්වය සඳහා එල්නිනෝ තත්තවය දායක වී තිබේ. ඒ තත්ත්වය ඇති වූයේ එල්නිනෝ තත්ත්වයේ උපරිමයට ළඟාවීමට පෙර වන අතර එල්නිනෝ තත්ත්වයේ උපරිමය පෙබරවාරි-අප්‍රේල් අතර කාලයේ දී අපේක්ෂා කරනු ලැබේ. මේ නිසා 2024 වර්ෂයේ ද අධික උෂ්ණත්වයක් ඇති විය හැකි බව විද්‍යාඥයන්ගේ අදහස වේ.

දේශගුණ වෙනස්වීමට අනුහුරු වීම්

ජගත් පරිසර පුවත් 507

ධනේෂ් විසුම්පෙරුම 

විදුසර, 2024-01-24, පි. 2

දේශගුණ වෙනස් වීම නිසා ඇති වන නව තත්ත්ව සඳහා මුහුණ දීමේ දී ඒ තත්ත්වයට අනුහුරුවීම ලෝකයේ සත්ත්ව හා ශාක විශේෂවල පැවැත්ම සඳහා ඉතා වැදගත් වේ. ලෝකයේ විවිධ ප්‍රදේශවලින් වරින්වර මෙවැනි අනුහුරුවීම් වාර්තා වේ. මෑතක දී එවැනි අපූරු අනුහුරුවීම් දෙකක් වාර්තා වී තිබේ.

මෙවැනි එක් අනුහුරුවීමක් සමනල විශේෂයක දැකිය හැක්කකි. මෙඩෝ බ්‍රවුන් (Meadow brown) සමනලයා ලෙස පොදුවේ හඳුන්වනු ලබන Maniola jurtina මේ සමනල විශේෂයේ වඩා උණුසුම් ප්‍රදේශවල වාසය කරන ගැහැණු සතුන්ගේ පියාපත්වල දැකිය හැකි තිත් ප්‍රමාණය අඩු වී තිබීම මේ අනුහුරු වීමයි. සෙල්සියස් අංශක 11ක උෂ්ණත්වයක් ඇති පරිසරයක වාසය කරන සමනලයින්ගේ තිත් ගණනේ සාමාන්‍යය 6ක් වූ අතර, උෂ්ණත්වය අංශක 15ක් පමණ වූ ප්‍රදේශයේ තිත් ගණනේ සාමාන්‍යය 3ක් පමණ වී තිබේ. එම අඩු වීම මේ සමනලයාගේ පැවැත්මට වැදගත් වන්නේ වියළි තෘණ සහිත ප්‍රදේශවල වෙනත් විලෝපික සතුන්ට දර්ශනය වීම අඩු වන නිසාය.

මේ අතර උෂ්ණත්වය ඉහළ යෑමත් සමඟ ගව කොකා ලෙස හඳුන්වන ලබන කොක් විශේෂය සිය පැවැත්මට යෝග්‍ය ප්‍රදේශවලට ව්‍යාප්ත වන බව ද වාර්තා විය. සාමාන්‍යයෙන් නිවර්තන කලාපීය ප්‍රදේශවල හා මධ්‍යධරණී කලාපයේ දැකිය හැකි මේ පක්ෂීන් මෑතක සිට බ්‍රිතාන්‍යයේ දකුණු දිග ප්‍රදේශවලින් වාර්තා වී ඇත. මුලින්ම මේ පක්ෂීන් එරට තුඝළ අභිජනනය කළ බව වාර්තා වී ඇත්තේ 2008 වර්ෂයේ වන අතර, මේ වන විට තරමක ගහණයක් දැකිය හැකි බව පැවසේ. එසේම, ගත වූ කාලය තුඝ අධික ශීත තත්ත්ව ඇති වූ ශීත ඍතුවල දී මේ පක්ෂීන් යුරෝපයේ වඩා උණුසුම් ප්‍රදේශවලට සංක්‍රමණය වී ඇත.

Wednesday, January 10, 2024

2023 උණුසුම්ම වසර ද?

ජගත් පරිසර පුවත් 506

ධනේෂ් විසුම්පෙරුම 

විදුසර, 2024-01-10, පි. 2

ගත වූ 2023 වර්ෂය ලෝකයේ ඉහළම සාමාන්‍ය උෂ්ණත්වයක් වර්ෂ අතරින් එකක් වනු ඇති බව පසුගිය වර්ෂය මැද සිටම පෙන්වා දී තිබිණි. එය ලෝකයේ වාර්තාගත ඉහළම උෂ්ණත්වය ඇති වර්ෂය වනු ඇති බව ද ප්‍රකාශ විය. එය තවමත් නිශ්චිතව තහවුරු කර නැතත්, රටවල් කිහිපයක උෂ්ණත්වය පිළිබඳ වාර්තා පළ වී තිබේ.

බ්‍රිතාන්‍ය කාලගුණ කාර්යාලය මගින් ප්‍රකාශිත තාවකාලික දත්ත අනුව 2023 වර්ෂය එරට වාර්තා වී ඇති ඉහළම සාමාන්‍ය උෂ්ණත්වයක් ඇති වර්ෂය අතර දෙවැනි තැනට වැටේ. ඒ අගය දෙවැනි වන්නේ 2022 වර්ෂයට වන අතර ඒ සෙල්සියස් අංශක 0.06කිනි. එසේම ඉන්දියානු බලධාරීන්ට අනුව එරට මෙතෙක් වාර්තා වී ඇති දෙවැනි වැඩිම සාමාන්‍ය උෂ්ණත්වය 2023 වර්ෂයේ වාර්තා වී ඇත. එය මීට පෙර වාර්තා වී ඇති ඉහළම උෂ්ණත්වය වන 2016 දී වාර්තා වී ඇති උෂ්ණත්වයට වඩා අංශක 0.06ක් අඩුය.

මේ අතර චීනයේ වාර්තා වී ඇති ඉහළම සාමාන්‍ය උෂ්ණත්වය පසුගිය වර්ෂයේ දී වාර්තා වී ඇති බව මාධ්‍ය වාර්තාවල සඳහන් විය. එය 2021 පැවති අගයට වඩා අංශක 0.2ක් පමණ අධිකය. එසේම, දකුණු කොරියාවේ ද මෙතෙක් වාර්තා වී ඇති ඉහළම උෂ්ණත්වය 2023 පැවති සාමාන්‍ය උෂ්ණත්වයයි. එය මීට පෙර පැවති ඉහළම උෂ්ණත්වය වන 2015 වර්ෂයේ පැවති උෂ්ණත්වයට වඩා අංශක 0.3ක් අධිකය.

මේ අතර 2023 වර්ෂයේ දි ලෝකයේ පැවති සාමාන්‍ය උෂ්ණත්වය මෙන්ම කාලගුණ තත්ත්වය පිළිබඳව ඇමරිකාවේ NASA හා NOAA යන ආයතන දෙක එක්ව පවත්වන මාධ්‍ය වෙබ් සම්මන්ත්‍රණයක් ජනවාරි 12 දා පැවැත්වීමට නියමිත වේ.