Tuesday, February 6, 2024

ස්වාභාවික සම්පත් නිස්සාරණ ඉහළ යෑම වැළැක්විය යුතුයි

ජගත් පරිසර පුවත් 508

ධනේෂ් විසුම්පෙරුම 

විදුසර, 2024-02-07, පි. 2

විවිධ අමුද්‍රව්‍ය ලෙස යොදාගන්නා ස්වාභාවික සම්පත් නිස්සාරණය කිරීම 2060 වර්ෂය වන විට 60%කින් පමණ ඉහළ යා හැකි බව පෙබරවාරි මාසයේ දී ප්‍රකාශයට පත් වීහට නියමිත එක්සත් ජාතීන්ගේ වාර්තාවකින් පෙන්වා දී ඇති බව ‘ද ගාඩියන්’ වෙබ් අඩවිය පෙන්වා දෙයි. මේ තත්ත්වය දේශගුණය මෙන්ම පරිසරය සම්බන්ධව ද බරපතළ ප්‍රතිඵල ඇති කළ හැකි තත්ත්වයක් බැවින් එය පාලනය කළ යුතු බව පැහැදිලිය.

වසර පහකට වරක් නිකුත් කරන ගෝලීය සම්පත් දැක්ම (UN Global Resource Outlook) මේ වාර්තාව අනුව වර්තමානයේ ලොකයේ දැකිය හැකි කාර්මිකකරණය, නාගරිකකරණය හා ජනගහන වර්ධනය හේතුවෙන් ස්වාභාවික සම්පත් නිස්සාරණය කිරීම 1970 සිට මේ දක්වා ගත වී ඇති කාලය තුළ 400% ක් පමණ ප්‍රමාණයකින් වර්ධනය වී තිබේ. මේ ආකාරයෙන් ස්වාභාවික සම්පත් නිස්සාරණය කිරීම ගෝලීය උණුසුමේ බලපෑමෙන් 60%කට (භූමි භාවිතයේ වෙනස්කම් ඇතුළත්ව), වායු දූෂණයේ බලපෑමෙන් 40%කට, ගෝලීය ජල ආතතියෙන් මෙන්ම ජෛව විවිධත්වය අහිමිවීමෙන් 90%කට තරම් හේතු වේ.

මේ තත්ත්වය මත උක්ත වාර්තාව මගින් යෝජනා කරන්නේ සමස්තයක් ලෙස අමුද්‍රව්‍ය සඳහා ඇති ඉල්ලුම අඩු කිරීම සිදු කළ යුතු බවයි. එසේ නොමැතිව, හුදෙක් හරිත නිෂ්පාදනය ඉහළ නැංවීම මේ තත්ත්වයට පිළියමක් නොවන බව ඔවුන්ගේ අදහස වේ. නිදසුනක් ලෙස සාමාන්‍ය කාර් රථයක් සඳහා අවශ්‍ය ඉතා වැදගත් අමුද්‍රව්‍ය ප්‍රමාණය මෙන් දස ගුණයක් පමණ අමුද්‍රව්‍ය ප්‍රමාණයක් විදුලි කාර් රථයක් සඳහා අවශ්‍ය වේ. මේ නිසා සම්පත් නිස්සාරණය මගින් පරිසරයට හානි සිදුවීම වැළැක්වීමට නම්, දුරස්ථව වැඩ කිරීම, ප්‍රාදේශීය වශයෙන් සේවා සැපයීම හා අඩු කාබන් ප්‍රවාහන විකල්ප (දුම්රිය වැනි) ප්‍රවර්ධනය කිරීම වැනි පියවර හරහා ප්‍රවාහන පද්ධතිය හරිතවත් කිරීම වඩා සුදුසුය.

No comments:

Post a Comment