Wednesday, January 24, 2024

දේශගුණ වෙනස්වීමට අනුහුරු වීම්

ජගත් පරිසර පුවත් 507

ධනේෂ් විසුම්පෙරුම 

විදුසර, 2024-01-24, පි. 2

දේශගුණ වෙනස් වීම නිසා ඇති වන නව තත්ත්ව සඳහා මුහුණ දීමේ දී ඒ තත්ත්වයට අනුහුරුවීම ලෝකයේ සත්ත්ව හා ශාක විශේෂවල පැවැත්ම සඳහා ඉතා වැදගත් වේ. ලෝකයේ විවිධ ප්‍රදේශවලින් වරින්වර මෙවැනි අනුහුරුවීම් වාර්තා වේ. මෑතක දී එවැනි අපූරු අනුහුරුවීම් දෙකක් වාර්තා වී තිබේ.

මෙවැනි එක් අනුහුරුවීමක් සමනල විශේෂයක දැකිය හැක්කකි. මෙඩෝ බ්‍රවුන් (Meadow brown) සමනලයා ලෙස පොදුවේ හඳුන්වනු ලබන Maniola jurtina මේ සමනල විශේෂයේ වඩා උණුසුම් ප්‍රදේශවල වාසය කරන ගැහැණු සතුන්ගේ පියාපත්වල දැකිය හැකි තිත් ප්‍රමාණය අඩු වී තිබීම මේ අනුහුරු වීමයි. සෙල්සියස් අංශක 11ක උෂ්ණත්වයක් ඇති පරිසරයක වාසය කරන සමනලයින්ගේ තිත් ගණනේ සාමාන්‍යය 6ක් වූ අතර, උෂ්ණත්වය අංශක 15ක් පමණ වූ ප්‍රදේශයේ තිත් ගණනේ සාමාන්‍යය 3ක් පමණ වී තිබේ. එම අඩු වීම මේ සමනලයාගේ පැවැත්මට වැදගත් වන්නේ වියළි තෘණ සහිත ප්‍රදේශවල වෙනත් විලෝපික සතුන්ට දර්ශනය වීම අඩු වන නිසාය.

මේ අතර උෂ්ණත්වය ඉහළ යෑමත් සමඟ ගව කොකා ලෙස හඳුන්වන ලබන කොක් විශේෂය සිය පැවැත්මට යෝග්‍ය ප්‍රදේශවලට ව්‍යාප්ත වන බව ද වාර්තා විය. සාමාන්‍යයෙන් නිවර්තන කලාපීය ප්‍රදේශවල හා මධ්‍යධරණී කලාපයේ දැකිය හැකි මේ පක්ෂීන් මෑතක සිට බ්‍රිතාන්‍යයේ දකුණු දිග ප්‍රදේශවලින් වාර්තා වී ඇත. මුලින්ම මේ පක්ෂීන් එරට තුඝළ අභිජනනය කළ බව වාර්තා වී ඇත්තේ 2008 වර්ෂයේ වන අතර, මේ වන විට තරමක ගහණයක් දැකිය හැකි බව පැවසේ. එසේම, ගත වූ කාලය තුඝ අධික ශීත තත්ත්ව ඇති වූ ශීත ඍතුවල දී මේ පක්ෂීන් යුරෝපයේ වඩා උණුසුම් ප්‍රදේශවලට සංක්‍රමණය වී ඇත.

No comments:

Post a Comment