Tuesday, February 20, 2024

උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.5 ඉක්මවූ වසරක කාලයක්

ජගත් පරිසර පුවත් 509

ධනේෂ් විසුම්පෙරුම 

විදුසර, 2024-02-21, පි. 2

ලෝකයේ සාමාන්‍ය වායුගෝලීය උෂ්ණත්වය, පූර්ව කාර්මික අවධියේ පැවති උෂ්ණත්වයට වඩා සෙල්සියස් අංශක 1.5ක ඉහළ මට්ටමක සම්පූර්ණ වර්ෂයක් හෙවත් දින 365ක කාලයක් පුරා මුල්වරට පැවති බව පසුගියදා වාර්තා විය. ඒ අනුව, 2023 පෙබරවාරි සිට 2024 ජනවාරි දක්වා වූ කාලයේ දී ලෝකයේ සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.52ක් ඉහළ විය. යුරෝපයේ කොපර්නිකස් දේශගුණ වෙනස්වීම් සේවය මේ බව පෙන්වා දෙයි. ලෝකයේ මෙවැන්නක් වාර්තා වන ප්‍රථම අවස්ථාව මෙය වීම වැදගත් කරුණකි. දේශගුණ වෙනස් වීම හමුවේ ලෝකය පිළිගත් (පැරිස් ගිවිසුම අනුව ද) ආරක්ෂිත උෂ්ණත්ව සීමාව වූ අංශක 1.5 අගය ස්ථිරව ඉක්ම වූ බවක් මින් නොකියවෙන නමුත්, ලෝකයේ සමාන්‍ය උෂ්ණත්වය ඒ මට්ටමට පැමිණීමට වැඩි කාලයක් නොමැති බවක් මේ තත්ත්වය මගින් ඉඟි කෙරේ. අනෙක් අතට, ගත වූ වර්ෂයේ පැවැති ආන්තික කාලගුණ තත්ත්ව මෙවැනි තත්ත්වයක දී පැවතිය හැකි ස්වභාවය පිළිබඳව සාධක සපයයි.

මේ අතර 2024 පෙබරවාරි මාසයේ දී ලෝකයේ ප්‍රදේශ රැසක උෂ්ණත්ව පිළිබඳ වාර්තා අලුත් වෙමින් ඇති බව කාලගුණ විද්‍යාඥයන් විසින් පෙන්වා දී ඇත. මේ දක්වා ලෝකයේ වාර්තා වී ඇති උණුසුම අධිකතම පෙබරවාරි මාසය ඇතිවෙමින් තිබෙන බව පෙනේ. මේ මාසයේ මුල් දින අට තුළ ගෝලීය පෘෂ්ඨීය උෂ්ණත්වය මෙතෙක් වාර්තාගත ඉහළම අගය වීම මේ සඳහා සාධක වේ. එසේම, රටවල් ගණනාවක මේ තත්ත්වය ඇති වී තිබේ. මිනිසුන් විසින් සිදුකරන ලද ගෝලීය උණුසුම හා එල් නිනෝ තත්ත්වය හේතුවෙන් මේ තත්ත්වය ඇති වී තිබෙයි. මේ ඇතිවෙමින් පවතින්නේ එල් නිනෝ බලපෑමේ උපරිම අවස්ථාව වන අතර එය ඉදිරි මාස කිහිපයක කාලයේ දී ක්‍රමයෙන් අඩු වී යා හැකිය.

No comments:

Post a Comment