Wednesday, January 24, 2024

2023 ඉහළම උෂ්ණත්වය ඇති වූ වර්ෂයයි!

ජගත් පරිසර පුවත් 507

ධනේෂ් විසුම්පෙරුම 

විදුසර, 2024-01-24, පි. 2
ලෝකයේ උෂ්ණත්වය වාර්තා කිරීම ආරම්භ කළ පසුව මෙතෙක් වාර්තා වී ඇති ඉහළම සාමාන්‍ය උෂ්ණත්වය 2023 වර්ෂයේ දී වාර්තා වී ඇති බව මේ වන විට තහවුරු කරගෙන තිබේ. එසේම මීට පෙර වාර්තා වී ඇති ඉහළම උෂ්ණත්වය පැවති වර්ෂය හා 2023 වර්ෂයේ පැවති උෂ්ණත්වය අතර පුළුල් පරතරයක් පැවතීම ද විශේෂයකි.  

ලෝකයේ ප්‍රධාන ජාත්‍යන්තර දත්ත කට්ටල හයක් යොදාගනිමින් ලෝක කාලගුණ විද්‍යා සංවිධානය මගින් මේ පිළිබඳ තහවුරු කර ඇත. ඒ අනුව 1850-1900 අතර කාලයේ පැවති පූර්ව කාර්මික අවධියේ පැවති ගෝලීය සාමාන්‍ය උෂ්ණත්වයට වඩා 2023 වර්ෂයේ උෂ්ණත්වය සෙල්සියස් අංශ 1.45කින් ඉහළය.

ඇමරිකාවේ නාසා ආයතනයේ පදනම් දත්ත වන 1951-1980 අතර කාලයේ පැවති ගෝලීය සාමාන්‍ය උෂ්ණත්වයට වඩා 2023 උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.2කින් ඉහළ බව පෙන්වා දී ඇත. මේ අගය පූර්ව කාර්මික අවධියේ පැවති උෂ්ණත්වයට වඩා අංශක 1.4ක් ඉහළය.

ඇමරිකාවේ ජාතික සාගරික හා වායුගෝලීය පරිපාලනයේ (NOAA) දත්ත අනුව, 2023 වර්ෂයේ ලෝකයේ සාමාන්‍ය උෂ්ණත්වය 20 වැනි සියවසේ සාමාන්‍යයට වඩා සෙල්සියස් අංශක 1.18කින් ඉහළය. එසේම, ඒ අගය මීට පෙර පැවති ඉහළම සාමාන්‍ය උෂ්ණත්වය වූ 2016 වර්ෂයේ සාමාන්‍ය උෂ්ණත්වයට වඩා සෙල්සියස් අංශක 0.15ක් ඉහළය. මේ වෙනස ද වාර්තාගත වර්ධනයකි.

2023 වර්ෂයේ, විශේෂයෙන් එහි දෙවන භාගයේ ඇති වූ, වාර්තා ගත ඉහළ උෂ්ණත්වය සඳහා එල්නිනෝ තත්තවය දායක වී තිබේ. ඒ තත්ත්වය ඇති වූයේ එල්නිනෝ තත්ත්වයේ උපරිමයට ළඟාවීමට පෙර වන අතර එල්නිනෝ තත්ත්වයේ උපරිමය පෙබරවාරි-අප්‍රේල් අතර කාලයේ දී අපේක්ෂා කරනු ලැබේ. මේ නිසා 2024 වර්ෂයේ ද අධික උෂ්ණත්වයක් ඇති විය හැකි බව විද්‍යාඥයන්ගේ අදහස වේ.

No comments:

Post a Comment