Tuesday, February 6, 2024

ඇමසන් නියඟයට ප්‍රධාන හේතුව දේශගුණ වෙනස් වීමයි

ජගත් පරිසර පුවත් 508

ධනේෂ් විසුම්පෙරුම 

විදුසර, 2024-02-07, පි. 2

ඇමසන් වනාන්තරයේ පසුගිය වර්ෂයේ දී ඇති වූ දැඩි නියඟය වසර පනහක පමණ කාලය තුළ ඇතිවූ බරපතළම නියඟ තත්ත්වය විය. ඒ සඳහා බලපා ඇති ප්‍රධාන සාධකය වන්නේ දේශගුණ වෙනස් වීම බව අධ්‍යයනයකින් පෙන්වා දී තිබේ. ඒ සඳහා දේශගුණ වෙනස් වීම බලපා ඇත්තේ ආාර දෙකකිනි. එකක් නම් සාමාන්‍යයෙන් වර්ෂාව නොලැබෙන කාලයේ දී ඇති වන තත්ත්වය උග්‍ර කිරීමට අධික උෂ්ණත්වයක් හේතු වීමයි. අනෙක වන්නේ උණුසුම් උෂ්ණත්වයක් පවත්නා විට පසෙන් හා ශාකවලින් ජලය වැඩි වශයෙන් වාෂ්පීකරණය වීමයි.

මේ තත්ත්වය කෙසේ ද යත්, දේශගුණ වෙනස් වීම නිසා ලෝකයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.2කින් ඉහළ ගොස් නොතිබුනේ නම්, ඇමසන් කලාපයේ මෙවැනි නියඟයක් ඇති විය හැක්කේ අවුරුදු 1500කට පමණ කාලයකට වරකි. එහෙත් දැන් පවත්නා තත්ත්වය අනුව එවැන්නක් වසර 50කට වරක් වුව ද ඇති විය හැකිය.

එසේම මේ ආකාරයෙන් නියඟය වැනි ආපදාවලට ලක්වීම සඳහා වනාන්තර විනාශය හේතුවෙන් වනාන්තර හායනයට ලක්ව තිබීම ද හේතුවකි. එසේම, පවත්නා එල් නිනෝ තත්ත්වය ද මේ සඳහා බලපා ඇතත් ප්‍රධාන හේතුව එය නොවන බව මේ අධ්‍යයන‌යෙන් පෙන්වා දී ඇත.

ඇමසන් වනාන්තරයේ නියඟ ඇති වීම එතරම් දුර්ලභ නොවූවත්, පසුගිය වර්ෂයේ ඇති වූ නියඟය බරපතළ හා අසාමාන්‍ය ලෙස දැඩි වූවකි. මෙවැනි දැඩි නියඟයකින් වනාන්තරට, එහි වෙසෙන ජීවීන්ට මෙන්ම මිනිසුන්ට ද බලපෑම් සිදුවිය හැකිය. මෙසේ නියඟයේ බලපෑම නිසා විනාශ වෙමින් ඇති ඇමසන් වනාන්තරය යනු ලෝග දේශගුණ වෙනස් වීම පාලනය කිරීමේ ලා ඉතා වැදගත් වන පරිසර පද්ධතියක් වීම මෙහි ඇති කණගාටුදායක කරුණ වේ. (මූලාශ්‍රය - Climate change, not El Niño, main driver of extreme drought in highly vulnerable Amazon River Basin, DOI:10.25561/108761)

No comments:

Post a Comment