Wednesday, January 10, 2024

2023 උණුසුම්ම වසර ද?

ජගත් පරිසර පුවත් 506

ධනේෂ් විසුම්පෙරුම 

විදුසර, 2024-01-10, පි. 2

ගත වූ 2023 වර්ෂය ලෝකයේ ඉහළම සාමාන්‍ය උෂ්ණත්වයක් වර්ෂ අතරින් එකක් වනු ඇති බව පසුගිය වර්ෂය මැද සිටම පෙන්වා දී තිබිණි. එය ලෝකයේ වාර්තාගත ඉහළම උෂ්ණත්වය ඇති වර්ෂය වනු ඇති බව ද ප්‍රකාශ විය. එය තවමත් නිශ්චිතව තහවුරු කර නැතත්, රටවල් කිහිපයක උෂ්ණත්වය පිළිබඳ වාර්තා පළ වී තිබේ.

බ්‍රිතාන්‍ය කාලගුණ කාර්යාලය මගින් ප්‍රකාශිත තාවකාලික දත්ත අනුව 2023 වර්ෂය එරට වාර්තා වී ඇති ඉහළම සාමාන්‍ය උෂ්ණත්වයක් ඇති වර්ෂය අතර දෙවැනි තැනට වැටේ. ඒ අගය දෙවැනි වන්නේ 2022 වර්ෂයට වන අතර ඒ සෙල්සියස් අංශක 0.06කිනි. එසේම ඉන්දියානු බලධාරීන්ට අනුව එරට මෙතෙක් වාර්තා වී ඇති දෙවැනි වැඩිම සාමාන්‍ය උෂ්ණත්වය 2023 වර්ෂයේ වාර්තා වී ඇත. එය මීට පෙර වාර්තා වී ඇති ඉහළම උෂ්ණත්වය වන 2016 දී වාර්තා වී ඇති උෂ්ණත්වයට වඩා අංශක 0.06ක් අඩුය.

මේ අතර චීනයේ වාර්තා වී ඇති ඉහළම සාමාන්‍ය උෂ්ණත්වය පසුගිය වර්ෂයේ දී වාර්තා වී ඇති බව මාධ්‍ය වාර්තාවල සඳහන් විය. එය 2021 පැවති අගයට වඩා අංශක 0.2ක් පමණ අධිකය. එසේම, දකුණු කොරියාවේ ද මෙතෙක් වාර්තා වී ඇති ඉහළම උෂ්ණත්වය 2023 පැවති සාමාන්‍ය උෂ්ණත්වයයි. එය මීට පෙර පැවති ඉහළම උෂ්ණත්වය වන 2015 වර්ෂයේ පැවති උෂ්ණත්වයට වඩා අංශක 0.3ක් අධිකය.

මේ අතර 2023 වර්ෂයේ දි ලෝකයේ පැවති සාමාන්‍ය උෂ්ණත්වය මෙන්ම කාලගුණ තත්ත්වය පිළිබඳව ඇමරිකාවේ NASA හා NOAA යන ආයතන දෙක එක්ව පවත්වන මාධ්‍ය වෙබ් සම්මන්ත්‍රණයක් ජනවාරි 12 දා පැවැත්වීමට නියමිත වේ.

No comments:

Post a Comment