Tuesday, February 21, 2023

ඇන්ටාක්ටිකාවේ සාගර අයිස් අවම මට්ටමක

ධනේෂ් විසුම්පෙරුම

පරිසර පුවත් 484
විදුසර, 2023-02-22, පි. 2


අන්ටාක්ටික් මහාද්වීපය අවට සාගරයේ පාවෙන අයිස්වලින් වැසී ඇති ප්‍රදේශය මෙතෙක් වාර්තාගත අවම මට්ටමට ළඟා වී ඇති බබව පසුගිය දා වාර්තා විය. ඇමරිකාවේ ජාතික හිම හා අයිස් දත්ත මධ්‍යස්ථානයට (NSIDC) අනුව ඇන්ටාක්ටික් සාගර අයිස් ප්‍රමාණය පසුගිය පෙබරවාරි 13 දින වර්ග කිලෝමීටර් මිලියන 1.91 දක්වා පහත වැටී ඇත. 2022 වර්ෂයේ වාර්තා වූ මෙතෙක් පැවැති අවම අගය වූයේ වර්ග කිලෝමීටර් 1.92කි. එසේම දක්ෂිණාර්ධගෝලයේ ග්‍රීෂ්ම ඍතුවේ සිදුවන අයිස් දියැවීම තවමත් අවසන්ව නැති බැවින් මේ ප්‍රමාණය තවත් අඩු විය හැකිය.

1979 වර්ෂයේ සිට මේ ප්‍රදේශයේ සාගර අයිස් ප්‍රමාණය පිළිබඳ වාර්තා තිබේ. ග්‍රීෂ්ම ඍතුවේ දියැවී යන මේ අයිස්, සරත් ඍතුවේදී නැවතත් වර්ධනය වේ. කෙසේ වෙතත්, මේ ප්‍රදේශයේ අයිස් ආවරණයේ විශාල විචල්‍යතාවයක් කලින් කලට දැකිය හැකි වූ බැවින් එය මිහිතලය උණුසුම් වීමේ බලපෑමට සම්බන්ධ කිරීම මෙතෙක් අපහසු විය (සංසන්දනාත්මකව ගත් විට ඇක්ටික් ප්‍රදේශයේ අයිස් දියැවීමේ කැපීපෙනන අඩුවීමක් කලක් තිස්සේ පවතී). කෙසේ වෙතත් පසුගිය හය වර්ෂයක පමණ කාලයේ ඇන්ටාක්ටික් සාගර පදේශයේ දැකිය හැකි සාගර අයිස් ප්‍රමාණයේ අඩු වීම, සාගර උෂ්ණත්වය ඉහළ යෑම හා දේශගුණ අර්බුදයේ තරම ඇන්ටාක්ටිකාවෙන් ද පෙනෙන බවට සාධකයකි. මෙවැනි ආන්තික තත්ත්වයක් එහි මෙතෙක් සිදු වී නොමැති බව විද්‍යාඥයින්ගේ අදහසයි.

මේ මුහුදු අයිස් මගින් ග්ලැසියර හා අයිත් තට්ටු දිය වීම පාලනය කරයි. මේ අයිස් දියවීම සමඟ සාගර රළවලට ග්ලැසියර හා අයිත් තට්ටු නිරාවරණය වීම ඉහළ ගොස් ඒවා බිඳවැටීම හා අයිස් දියැවීම වේගවත් වේ.

වන විනාශයේ සමාගම් සතු වගකීම නොසලකා හැරලා ද?

ධනේෂ් විසුම්පෙරුම

පරිසර පුවත් 484
විදුසර, 2023-02-22, පි. 2


විවිධ නිෂ්පාදන සමාගම්වල නිෂ්පාදනවල අමුද්‍රව්‍ය සැපයීමේ දී සිදුවන වන විනාශය නැවැත්වීම සඳහා 2021 වර්ෂයේ දේශගුණ සමුළුවේ දී ලෝක නායකයෝ පොරොන්දු වූහ. මේ පිළිබඳව කටයුතු කරන බවට ලෝකයේ විවිධ සමාගම් පොරොන්දු, ප්‍රතිඥා ආදිය ලබා දී තිබේ. මේ සම්බන්ධව සිදු කර ඇති අධ්‍යයනයකට අනුව, තම නිෂ්පාදනවල සැපයුම් හරහා නිවර්තන වනාන්තර එළිපෙහෙළි වීමට දායක වන සමාගම් අතරින් 31%ක් මෙතෙක් ඒ කිසිදු ද්‍රව්‍යයක් පිළිබඳව කිසිම ප්‍රතිපත්තියක් හෝ කැපවීමක් සිදුකරන බව ප්‍රකාශ කර නැත. එසේම තමන්ගේ සියලු අමුද්‍රව්‍ය සම්බන්ධව මෙවැනි ප්‍රතිඥා ලබා දී ඇති සමාගම් සියයක් අතරින් ඒ සැපයුම් දාමවල සිටින සැපයුම්කරුවන් හෝ අදාළ ප්‍රදේශ හෝ සම්බන්ධව අධීක්ෂණය කරන්නේ සමාගම් 50%ක් පමණකි.

මේ අතර එවැනි සමාගම් සඳහා මූල්‍ය ප්‍රතිපාදන සපයන මූල්‍ය ආයතන අතරින් 61%කට ඔවුන් සපයන ණය හා ආයෝජන හා ඒ නිසා ඇති විය හැකි වන විනාශය පිළිබඳ ප්‍රතිපත්තියක් නොමැත. වන විනාශය ආයෝජන අවදානමක් ලෙස සලකා ඇත්තේ සමාගම් අතරින් 31%ක් පමණකි.

Global Canopy නම් ආයතනයෙන් සිදු කර ඇති 'Forest 500' නම් මේ වාර්තාවට අනුව වන විනාශය සඳහා දායක වන මෙවැනි කටයුතු අවසන් කිරීම සඳහා ලබා දී ඇති එක්සත් ජාතීන්ගේ ඉලක්කය වන 2025 වර්ෂයට තවත් ඇත්තේ වසර දෙකක් පමණි. හරිතාගාර වායු විමෝචන ශුද්ධ ශුන්‍ය බවට පත් කිරීමේ දී මේ වන විනාශය සම්බන්ධ ඉලක්ක ඉතා වැදගත්ය.

මූලාශ්‍රය - Forest 500, https://forest500.org

Tuesday, February 7, 2023

ආරක්ෂිත ප්‍රදේශවලින් කෘමීන්ට ලැබෙන ආරක්ෂාව මදි!

ධනේෂ් විසුම්පෙරුම


පරිසර පුවත් 483
විදුසර, 2023-02-08, පි. 2


සෙසු ජීවීන්ට මෙන්ම මිනිසුන්ට ද ප්‍රයෝජනවත් වන කෘමීන් දිනෙන් දින තර්ජනයට පත්වන ජීවී කාණ්ඩයකි. කෘමි ගහන දිනෙන් දින පිරිහී යන අතර, සංරක්ෂණ ප්‍රයත්නවල දී ද එතරම් අවධානයකට ලක් වී නැත. මේ පිළිබඳව අවධානය යොමු කර ඇති අධ්‍යයනයකින් පෙන්වා දී ඇත්තේ ලෝකයේ මේ වන විට පවත්නා ආරක්ෂිත ප්‍රදේශවලින් කෘමි විශේෂ අතරින් 76%ක් පමණ ප්‍රමාණයකට ප්‍රමාණවත් ආරක්ෂාවත් නොලැබෙන බවයි.

මේ බව අනාවරණය වී ඇත්තේ කෘමි විශේෂ 89151ක් පමණ ප්‍රමාණයක ව්‍යාප්ති සිතියම් සහ ආරක්ෂිත ප්‍රදේශවල සිතියම් සමග සංසන්දනය කිරීමකි. මේ අතර දැඩි ලෙස තර්ජනයට පත්ව ඇති බව සැලකෙන කෘමි විශේෂ ද වෙයි. මෙසේ කෘමි විශේෂ සඳහා ආරක්ෂිත බව අඩු ප්‍රදේශ අතර, දකුනු හා අග්නිදිග ආසියාව ද වේ. අනෙක් අතට විශේෂ 1876ක ව්‍යාප්ති සිතියම් හා ආරක්ෂිත ප්‍රදේශ සමඟ සමපාත වන්නේ නැත.

මේ අධ්‍යයනයේ දී අවධානය යොමුවී ඇත්තේ මිලියන 5.5ක් පමණ වන කෘමි විශේෂ අතරින් සුළු ප්‍රමාණයකි. ඉන් හෙළි වන තොරතුරු අනුව ආරක්ෂිත ප්‍රදේශ නිර්ණය කිරීමේ දී කෘමි විශේෂ සම්බන්ධව ද අවධානය යොමු විය යුතු බව මේ පර්යේෂකයන් විසින් පෙන්වා දී තිබේ. අනෙක් අතට ආරක්ෂිත ප්‍රදේශවල වාසය කරන කෘමි විශේෂ පවා තර්ජනයට ලක්ව ගහන හායනයට ලක් වන බව ද ඔවුහු පවසති.

මූලාශ්‍රය - One Earth, DOI: 10.1016/j.oneear.2022

යුද සමයේ පරිසර විනාශය ගැන රටකට එරෙහිව තවත් රටකින් නඩු

ධනේෂ් විසුම්පෙරුම


පරිසර පුවත් 482

විදුසර, 2023-01-25, පි. 2

අසර්බයිජානයේ නගර්නෝ-කරබාක් ප්‍රදේශය දශක තුනක පමණ කාලයක් අත්පත් කරගෙන සිටි ආමීනියානුවන් එහි පරිසරයට හා ජෛව විවිධත්වයට සිදු කළ විනාශයට‌ එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අසර්බයිජානය පියවර ගෙන තිබේ. මේ අනුව අන්තර් ජාතික විනිශ්චය සභාවක් මගින් රටවල් දෙක අතර ගැටුම් ඇති වූ කාලයේ දී සිදු වූ පරිසර හානිය පිළිබඳව සලකා බලනු ඇත.

1990 දශකයේ දී සෝවියට් සංගමය බිඳවැටීමෙන් පසුව මේ භූමි ප්‍රදේශය ආමීනියාව විසින් අත්පත් කරගත් අතර, දශක තුනකට ආසන්න කාලයක් පාලනය කළේය. පසුගිය 2020 වර්ෂයේ දී අසර්බයිජාන හමුදා මේ ප්‍රදේශය නැවත අත්පත් කරගත්තේය. ඒ ප්‍රදේශයේ සිදු වූ විශාල හානිය නිරීක්ෂණය කරන ලද්දේ ඉන් පසුවය. පතල් කැනීම් නිසා වනාන්තර විනාශ වීම, ජෛව විවිධත්වය හායනයට ලක් වීම සිදුවී ඇති අතර බිම්බෝම්බ නිසා වනජීවීන් අනතුරට ලක්ව ඇත. එසේම බැරලෝහ හා ආයුධවල ශේෂ නිසා පරිසරය ද ජලය ද දූෂණය වී තිබේ. මේ බව එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ වාර්තාවක ද සඳහන් වේ. සඳහන් වේ. කෙසේ වෙතත් යුද්ධය නිසා ජෛව විවිධත්වයට යහපතක් සැලසෙන්නට ඇති බවක් ඒ වාර්තාවේ සඳහන් වන්නේ මානව ජනාවාස සමහරක් අත්හැර දැමීම නිසාය. මේ ප්‍රදේශය ජෛව විවිධත්වය සම්බන්ධව වැදගත් ප්‍රදේශයකි.

ස්වභාව ධර්මය පිළිබඳ බර්න් සම්මුතිය යටතේ රටක් තවත් රටකට එරෙහිව නීතිමය පියවරක් ගන්නා පළමු අවස්ථාව මෙය වේ. මෙහි දී අසර්බයිජානය ජය ගතහොත් වන්දි මුදලක් ගෙවීමට ආමිනියාවට සිදු විය හැකිය. එසේ වුවහොත්, ජෛව විවිධත්වය හා පරිසර විනාශය සම්බන්ධව ආර්ථික අගයක් ලබාදුන් පළමු අවස්ථාව ද මෙය වනු ඇත.

Tuesday, January 24, 2023

තාපය නිසා වනජීවීන්ට ඇතිවන තර්ජනය උෂ්ණත්වය අනුව වෙනස් වන ආකරය

ධනේෂ් විසුම්පෙරුම

පරිසර පුවත් 482
විදුසර, 2023-01-25, පි. 2

අනාගතයේ ලෝකයේ සාමාන්‍ය උෂ්ණත්වය ඉහළ යන ප්‍රමාණය තීරණය වන්නේ මිනිසුන් විසින් නිකුත් කරන හරිතාගාර වායු විමෝචන ප්‍රමාණය අනුවය. මේ උෂ්ණත්වය අනුව, මේ ශතවර්ෂය අවසානයේ දී භෞමික වනජීවීන්ට ඇති වන තාප තර්ජනය වෙනස් වන ආකාරය පසුගියදා පළ වූ අධ්‍යයනයකින් පෙන්වා දී තිබේ. භෞමික පෘෂ්ටවංශී විශේෂ 33,000කට අධික ප්‍රමාණයකට ආන්තික තාප තත්ත්ව යටතේ ඇති වියහැකි බලපෑම සිතියම්ගත කර ඇති මේ අධ්‍යයනයේ දී 1959-2099 කාලය තුළ පැවති හා ඇති විය හැකි උෂ්ණත්ව පිළිබඳ සලකා බලා තිබේ.  

ඒ අනුව ඉහළ විමෝචන තත්ත්ව තුළ උෂ්ණත්වය සෙල්සියස් අංශක 4.4කින් පමණ දක්වා වැඩි විය හැකි අතර ඒ උෂෟණත්වය හමුවේ භෞමික වනජීවීන් අතරින් 41%ක් පමණ අධික ප්‍රමාණයක් ආන්තික තාප තත්ත්වවලින් තර්ජනයට ලක් විය හැකිය. මේ අධ්‍යයනයේ දී අවධානයට යොමු වූ උභයජීවින් අතරින් 55%ක්, උරගයින් අතරින් 51%ක්, ක්ෂීරපායින් අතරින් 31%ක් හා පක්ෂීන් අතරින් 26%ක් තාප අවදානමට ලක් විය හැකිය. ඉහත කී විමෝචන මට්ටමට වඩා අඩු තත්ත්වයක් යටතේ අංශක 3.6කික් උෂ්ණත්වය ඉහළ ගියහොත් ජීවීන් අතරින් 28.8%ක් ද, අංශක 2.7කින් ලෝකයේ උෂ්ණත්වය ඉහළ ගියහොත් ජීවීන්ගෙන් 15.1%ක් ද එවැනි ආන්තික තාප සිදුවීම්වලට නිරාවරණය විය හැකිය. වඩාත් අඩු විමෝචන තත්ත්වයක් යටතේ ඇති විය හැකි උණ්ණත්වය වන අංශක 1.8ක තත්ත්වය හමුවේ මේ තාප අවදානමට ලක්වන ජීවීන් ප්‍රමාණය 6.1%ක් තරම් අඩුය. 

එමේ අනුව ලෝකයේ ජෛව විවිධත්වයට ආරක්ෂා කිරීම සඳහා උෂ්ණත්වය ඉහළ යන ප්‍රමාණය සීමා කිරීම වැදගත් බව පැහැදිලිය. මේ බලපෑමට ලක්වීම ඒ ඒ සත්ත්ව කාණ්ඩය අනුව මෙන්ම ප්‍රදේශය අනුව ද වෙනස් වේ. ඇතැම් අධික උෂ්ණත්වයක් සහිත ප්‍රදේශවල වාසය කරන වනජීවීන් අතරින් 100%ක් පමණ මේ ආන්තික තාප තත්ත්වවලට ලක් විය හැකිය.

Nature, DOI: 10.1038/s41586-022-05606-z

සබැඳිය - https://www.nature.com/articles/s41586-022-05606-z

සාගර උෂ්ණත්වය සිවුවැනි වර්ෂයටත් වාර්තාගත අගයක

ධනේෂ් විසුම්පෙරුම

පරිසර පුවත් 482
විදුසර, 2023-01-25, පි. 2



ලෝකයේ සාගර උෂ්ණත්වය 2022 වර්ෂයේ දී අඛණ්ඩව සිව්වැනි වර්ෂයටත් වැඩිම අගය බවට පත් වී තිබේ. ඒ ඒ වර්ෂයට පෙර වර්ෂයේ දී පැවති උෂ්ණත්වයට වඩා ඉහළ උෂ්ණත්වයක් වාර්තා කරමින් 2019, 2020 හා 2021 වර්ෂවල නව වාර්තා ඇති වූ අතර, මේ වැඩිම උෂ්ණත්ව වාර්තාව යළිත් 2022 දී අලුත් වී තිබේ. එසේම මේ දක්වා වාර්තා වී ඇති ඉහළම සාගර උෂ්ණත්ව හයම ඇති වී ඇත්තේ පසුගිය වර්ෂ හය වේ.

මේ තත්ත්වය ලෝකයේ උෂ්ණත්වය ඉහළ යෑම පිළිබඳ පැහැදිලි සාධක වේ. ලෝකයේ ඇති වන තාපයෙන් වැඩි ප්‍රමාණයක් අවශෝෂණය කරනු ලබන්නේ සාගර ජලය මගිනි. හරිතාගාර වායු විමෝචන ඉහළ යෑම නිසා වායුගෝලීය උෂ්ණත්වය ඉහළ යෑමත් සමඟ සාගරයේ උෂ්ණත්වය ද ඉහළ යයි. සාගර උෂ්ණත්වය 1958 වර්ෂයේ සිට ගත වූ සෑම දශකයක දී ම, ඊට පෙර දශකයට වඩා ඉහළ විය. එසේම එසේ උෂ්ණත්වය ඉහළ යන ප්‍රමාණය හෙවත් සීග්‍රතාවය ද ඉහළ ගොස් තිබේ.

සාගරයේ උෂ්ණත්වය මෙසේ ඉහළ යෑම මුහුදු මට්ටම ඉහළ යෑමට, ස්වාභාවික ආපදා ඉහළ යෑමට මෙන්ම සාගරයේ ජීවීන්ට හා තවත් බොහෝ තත්ත්ව සඳහා හේතු විය හැකිය.

ලෝකයේ ඉහළම සාමාන්‍ය උෂ්ණත්වයක් ඇති වර්ෂ අතර පස්වැනි තැන හිමිවන්නේ 2022 වර්ෂයට බව වර්ෂයට බව මුල දී ප්‍රකාශයට පත්ව තිබිණි.

Advances in Atmospheric Sciences, DOI: 10.1007/s00376-023-2385-2

සබැඳිය - https://link.springer.com/article/10.1007/s00376-023-2385-2

තැන්පතු ආපසු දීම මගින් පරිසර දුෂණය අඩු කිරීමේ උත්සාහයක්

ධනේෂ් විසුම්පෙරුම

පරිසර පුවත් 482
විදුසර, 2023-01-25, පි. 2



පාන වර්ග අසුරා ඇති ප්ලාස්ටික් හා ලෝහමය බෝතල් හා කෑන් භාවිතයෙන් පසු ආපසු බාරදීමේ දී ඒවා ලබාගැනීමේ දී තැන්පත් කරන මුදලක් ආපසු දීමේ ක්‍රමයක් බ්‍රිතාන්‍යයේ ප්‍රාන්ත තුනක් හඳුන්වා දීමට යයි. සැරසේ. ‘තැන්පතුව ආපසුදීමේ යෝජනාක්‍රමය’ (deposit return scheme) ලෙස නම්කර ඇති මේ ක්‍රමවේදයේ දී ප්‍රති-අලෙවි යන්ත්‍ර (reverse vending machine) නමින් හඳුන්වන ස්වයංක්‍රීය යන්ත්‍රවලට අදාළ බෝතල් හා කෑන් ඇතුළු කිරීමෙන් තැන්පතු මුදල් ලබාගත හැකිය. මේ මගින් අපද්‍රව්‍ය ලෙස ඉවත දමන ප්ලාස්ටික් හා ලෝහමය බඳුන් ප්‍රතිච්‍රකීකරණය කෙරෙන ප්‍රමාණය 85%ක් පමණ දක්වා ඉහළ නංවා ගත හැකි යැයි අපේක්ෂා කෙරේ. මේ යෝජනාක්‍රමය ඒ සඳහා පහසු හා සරළ ක්‍රමයක් සේ සැලකේ.

මේ පිළිබඳ මුලින්ම ප්‍රකාශයට පත්ව දැන් වර්ෂ පහක් ගත වී ඇත. පසුගිය සතියේ දී ඒ පිළිබඳ රජයේ එකඟතාව ලැබී ඇති අතර, ඒ අන 2025 වර්ෂයේ දී පමණ ක්‍රියාත්මක වනු ඇතැයි පෙන්වා දී තිබේ. මේ යෝජනාක්‍රමය සඳහා මුලින් වීදුරු බඳුන් ද ඇතුළත් කිරීමට සැලසුම් කරන ලද නමුත් අවසානයේ දී වීදුරු බඳුන් මීට ඇතුළත් කර නොමැත. එය අහිමි වූ අවස්ථාවක් ලෙස සලකා ඇති පාරිසරික අංශ ඒ පිළිබඳව සිය නොසතුට ප්‍රකාශ කර තිබේ.