Tuesday, February 7, 2023

යුද සමයේ පරිසර විනාශය ගැන රටකට එරෙහිව තවත් රටකින් නඩු

ධනේෂ් විසුම්පෙරුම


පරිසර පුවත් 482

විදුසර, 2023-01-25, පි. 2

අසර්බයිජානයේ නගර්නෝ-කරබාක් ප්‍රදේශය දශක තුනක පමණ කාලයක් අත්පත් කරගෙන සිටි ආමීනියානුවන් එහි පරිසරයට හා ජෛව විවිධත්වයට සිදු කළ විනාශයට‌ එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අසර්බයිජානය පියවර ගෙන තිබේ. මේ අනුව අන්තර් ජාතික විනිශ්චය සභාවක් මගින් රටවල් දෙක අතර ගැටුම් ඇති වූ කාලයේ දී සිදු වූ පරිසර හානිය පිළිබඳව සලකා බලනු ඇත.

1990 දශකයේ දී සෝවියට් සංගමය බිඳවැටීමෙන් පසුව මේ භූමි ප්‍රදේශය ආමීනියාව විසින් අත්පත් කරගත් අතර, දශක තුනකට ආසන්න කාලයක් පාලනය කළේය. පසුගිය 2020 වර්ෂයේ දී අසර්බයිජාන හමුදා මේ ප්‍රදේශය නැවත අත්පත් කරගත්තේය. ඒ ප්‍රදේශයේ සිදු වූ විශාල හානිය නිරීක්ෂණය කරන ලද්දේ ඉන් පසුවය. පතල් කැනීම් නිසා වනාන්තර විනාශ වීම, ජෛව විවිධත්වය හායනයට ලක් වීම සිදුවී ඇති අතර බිම්බෝම්බ නිසා වනජීවීන් අනතුරට ලක්ව ඇත. එසේම බැරලෝහ හා ආයුධවල ශේෂ නිසා පරිසරය ද ජලය ද දූෂණය වී තිබේ. මේ බව එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ වාර්තාවක ද සඳහන් වේ. සඳහන් වේ. කෙසේ වෙතත් යුද්ධය නිසා ජෛව විවිධත්වයට යහපතක් සැලසෙන්නට ඇති බවක් ඒ වාර්තාවේ සඳහන් වන්නේ මානව ජනාවාස සමහරක් අත්හැර දැමීම නිසාය. මේ ප්‍රදේශය ජෛව විවිධත්වය සම්බන්ධව වැදගත් ප්‍රදේශයකි.

ස්වභාව ධර්මය පිළිබඳ බර්න් සම්මුතිය යටතේ රටක් තවත් රටකට එරෙහිව නීතිමය පියවරක් ගන්නා පළමු අවස්ථාව මෙය වේ. මෙහි දී අසර්බයිජානය ජය ගතහොත් වන්දි මුදලක් ගෙවීමට ආමිනියාවට සිදු විය හැකිය. එසේ වුවහොත්, ජෛව විවිධත්වය හා පරිසර විනාශය සම්බන්ධව ආර්ථික අගයක් ලබාදුන් පළමු අවස්ථාව ද මෙය වනු ඇත.

No comments:

Post a Comment