Tuesday, January 24, 2023

තාපය නිසා වනජීවීන්ට ඇතිවන තර්ජනය උෂ්ණත්වය අනුව වෙනස් වන ආකරය

ධනේෂ් විසුම්පෙරුම

පරිසර පුවත් 482
විදුසර, 2023-01-25, පි. 2

අනාගතයේ ලෝකයේ සාමාන්‍ය උෂ්ණත්වය ඉහළ යන ප්‍රමාණය තීරණය වන්නේ මිනිසුන් විසින් නිකුත් කරන හරිතාගාර වායු විමෝචන ප්‍රමාණය අනුවය. මේ උෂ්ණත්වය අනුව, මේ ශතවර්ෂය අවසානයේ දී භෞමික වනජීවීන්ට ඇති වන තාප තර්ජනය වෙනස් වන ආකාරය පසුගියදා පළ වූ අධ්‍යයනයකින් පෙන්වා දී තිබේ. භෞමික පෘෂ්ටවංශී විශේෂ 33,000කට අධික ප්‍රමාණයකට ආන්තික තාප තත්ත්ව යටතේ ඇති වියහැකි බලපෑම සිතියම්ගත කර ඇති මේ අධ්‍යයනයේ දී 1959-2099 කාලය තුළ පැවති හා ඇති විය හැකි උෂ්ණත්ව පිළිබඳ සලකා බලා තිබේ.  

ඒ අනුව ඉහළ විමෝචන තත්ත්ව තුළ උෂ්ණත්වය සෙල්සියස් අංශක 4.4කින් පමණ දක්වා වැඩි විය හැකි අතර ඒ උෂෟණත්වය හමුවේ භෞමික වනජීවීන් අතරින් 41%ක් පමණ අධික ප්‍රමාණයක් ආන්තික තාප තත්ත්වවලින් තර්ජනයට ලක් විය හැකිය. මේ අධ්‍යයනයේ දී අවධානයට යොමු වූ උභයජීවින් අතරින් 55%ක්, උරගයින් අතරින් 51%ක්, ක්ෂීරපායින් අතරින් 31%ක් හා පක්ෂීන් අතරින් 26%ක් තාප අවදානමට ලක් විය හැකිය. ඉහත කී විමෝචන මට්ටමට වඩා අඩු තත්ත්වයක් යටතේ අංශක 3.6කික් උෂ්ණත්වය ඉහළ ගියහොත් ජීවීන් අතරින් 28.8%ක් ද, අංශක 2.7කින් ලෝකයේ උෂ්ණත්වය ඉහළ ගියහොත් ජීවීන්ගෙන් 15.1%ක් ද එවැනි ආන්තික තාප සිදුවීම්වලට නිරාවරණය විය හැකිය. වඩාත් අඩු විමෝචන තත්ත්වයක් යටතේ ඇති විය හැකි උණ්ණත්වය වන අංශක 1.8ක තත්ත්වය හමුවේ මේ තාප අවදානමට ලක්වන ජීවීන් ප්‍රමාණය 6.1%ක් තරම් අඩුය. 

එමේ අනුව ලෝකයේ ජෛව විවිධත්වයට ආරක්ෂා කිරීම සඳහා උෂ්ණත්වය ඉහළ යන ප්‍රමාණය සීමා කිරීම වැදගත් බව පැහැදිලිය. මේ බලපෑමට ලක්වීම ඒ ඒ සත්ත්ව කාණ්ඩය අනුව මෙන්ම ප්‍රදේශය අනුව ද වෙනස් වේ. ඇතැම් අධික උෂ්ණත්වයක් සහිත ප්‍රදේශවල වාසය කරන වනජීවීන් අතරින් 100%ක් පමණ මේ ආන්තික තාප තත්ත්වවලට ලක් විය හැකිය.

Nature, DOI: 10.1038/s41586-022-05606-z

සබැඳිය - https://www.nature.com/articles/s41586-022-05606-z

No comments:

Post a Comment