Tuesday, January 24, 2023

සාගර උෂ්ණත්වය සිවුවැනි වර්ෂයටත් වාර්තාගත අගයක

ධනේෂ් විසුම්පෙරුම

පරිසර පුවත් 482
විදුසර, 2023-01-25, පි. 2



ලෝකයේ සාගර උෂ්ණත්වය 2022 වර්ෂයේ දී අඛණ්ඩව සිව්වැනි වර්ෂයටත් වැඩිම අගය බවට පත් වී තිබේ. ඒ ඒ වර්ෂයට පෙර වර්ෂයේ දී පැවති උෂ්ණත්වයට වඩා ඉහළ උෂ්ණත්වයක් වාර්තා කරමින් 2019, 2020 හා 2021 වර්ෂවල නව වාර්තා ඇති වූ අතර, මේ වැඩිම උෂ්ණත්ව වාර්තාව යළිත් 2022 දී අලුත් වී තිබේ. එසේම මේ දක්වා වාර්තා වී ඇති ඉහළම සාගර උෂ්ණත්ව හයම ඇති වී ඇත්තේ පසුගිය වර්ෂ හය වේ.

මේ තත්ත්වය ලෝකයේ උෂ්ණත්වය ඉහළ යෑම පිළිබඳ පැහැදිලි සාධක වේ. ලෝකයේ ඇති වන තාපයෙන් වැඩි ප්‍රමාණයක් අවශෝෂණය කරනු ලබන්නේ සාගර ජලය මගිනි. හරිතාගාර වායු විමෝචන ඉහළ යෑම නිසා වායුගෝලීය උෂ්ණත්වය ඉහළ යෑමත් සමඟ සාගරයේ උෂ්ණත්වය ද ඉහළ යයි. සාගර උෂ්ණත්වය 1958 වර්ෂයේ සිට ගත වූ සෑම දශකයක දී ම, ඊට පෙර දශකයට වඩා ඉහළ විය. එසේම එසේ උෂ්ණත්වය ඉහළ යන ප්‍රමාණය හෙවත් සීග්‍රතාවය ද ඉහළ ගොස් තිබේ.

සාගරයේ උෂ්ණත්වය මෙසේ ඉහළ යෑම මුහුදු මට්ටම ඉහළ යෑමට, ස්වාභාවික ආපදා ඉහළ යෑමට මෙන්ම සාගරයේ ජීවීන්ට හා තවත් බොහෝ තත්ත්ව සඳහා හේතු විය හැකිය.

ලෝකයේ ඉහළම සාමාන්‍ය උෂ්ණත්වයක් ඇති වර්ෂ අතර පස්වැනි තැන හිමිවන්නේ 2022 වර්ෂයට බව වර්ෂයට බව මුල දී ප්‍රකාශයට පත්ව තිබිණි.

Advances in Atmospheric Sciences, DOI: 10.1007/s00376-023-2385-2

සබැඳිය - https://link.springer.com/article/10.1007/s00376-023-2385-2

No comments:

Post a Comment