Tuesday, February 21, 2023

ඇන්ටාක්ටිකාවේ සාගර අයිස් අවම මට්ටමක

ධනේෂ් විසුම්පෙරුම

පරිසර පුවත් 484
විදුසර, 2023-02-22, පි. 2


අන්ටාක්ටික් මහාද්වීපය අවට සාගරයේ පාවෙන අයිස්වලින් වැසී ඇති ප්‍රදේශය මෙතෙක් වාර්තාගත අවම මට්ටමට ළඟා වී ඇති බබව පසුගිය දා වාර්තා විය. ඇමරිකාවේ ජාතික හිම හා අයිස් දත්ත මධ්‍යස්ථානයට (NSIDC) අනුව ඇන්ටාක්ටික් සාගර අයිස් ප්‍රමාණය පසුගිය පෙබරවාරි 13 දින වර්ග කිලෝමීටර් මිලියන 1.91 දක්වා පහත වැටී ඇත. 2022 වර්ෂයේ වාර්තා වූ මෙතෙක් පැවැති අවම අගය වූයේ වර්ග කිලෝමීටර් 1.92කි. එසේම දක්ෂිණාර්ධගෝලයේ ග්‍රීෂ්ම ඍතුවේ සිදුවන අයිස් දියැවීම තවමත් අවසන්ව නැති බැවින් මේ ප්‍රමාණය තවත් අඩු විය හැකිය.

1979 වර්ෂයේ සිට මේ ප්‍රදේශයේ සාගර අයිස් ප්‍රමාණය පිළිබඳ වාර්තා තිබේ. ග්‍රීෂ්ම ඍතුවේ දියැවී යන මේ අයිස්, සරත් ඍතුවේදී නැවතත් වර්ධනය වේ. කෙසේ වෙතත්, මේ ප්‍රදේශයේ අයිස් ආවරණයේ විශාල විචල්‍යතාවයක් කලින් කලට දැකිය හැකි වූ බැවින් එය මිහිතලය උණුසුම් වීමේ බලපෑමට සම්බන්ධ කිරීම මෙතෙක් අපහසු විය (සංසන්දනාත්මකව ගත් විට ඇක්ටික් ප්‍රදේශයේ අයිස් දියැවීමේ කැපීපෙනන අඩුවීමක් කලක් තිස්සේ පවතී). කෙසේ වෙතත් පසුගිය හය වර්ෂයක පමණ කාලයේ ඇන්ටාක්ටික් සාගර පදේශයේ දැකිය හැකි සාගර අයිස් ප්‍රමාණයේ අඩු වීම, සාගර උෂ්ණත්වය ඉහළ යෑම හා දේශගුණ අර්බුදයේ තරම ඇන්ටාක්ටිකාවෙන් ද පෙනෙන බවට සාධකයකි. මෙවැනි ආන්තික තත්ත්වයක් එහි මෙතෙක් සිදු වී නොමැති බව විද්‍යාඥයින්ගේ අදහසයි.

මේ මුහුදු අයිස් මගින් ග්ලැසියර හා අයිත් තට්ටු දිය වීම පාලනය කරයි. මේ අයිස් දියවීම සමඟ සාගර රළවලට ග්ලැසියර හා අයිත් තට්ටු නිරාවරණය වීම ඉහළ ගොස් ඒවා බිඳවැටීම හා අයිස් දියැවීම වේගවත් වේ.

No comments:

Post a Comment