Tuesday, February 21, 2023

වන විනාශයේ සමාගම් සතු වගකීම නොසලකා හැරලා ද?

ධනේෂ් විසුම්පෙරුම

පරිසර පුවත් 484
විදුසර, 2023-02-22, පි. 2


විවිධ නිෂ්පාදන සමාගම්වල නිෂ්පාදනවල අමුද්‍රව්‍ය සැපයීමේ දී සිදුවන වන විනාශය නැවැත්වීම සඳහා 2021 වර්ෂයේ දේශගුණ සමුළුවේ දී ලෝක නායකයෝ පොරොන්දු වූහ. මේ පිළිබඳව කටයුතු කරන බවට ලෝකයේ විවිධ සමාගම් පොරොන්දු, ප්‍රතිඥා ආදිය ලබා දී තිබේ. මේ සම්බන්ධව සිදු කර ඇති අධ්‍යයනයකට අනුව, තම නිෂ්පාදනවල සැපයුම් හරහා නිවර්තන වනාන්තර එළිපෙහෙළි වීමට දායක වන සමාගම් අතරින් 31%ක් මෙතෙක් ඒ කිසිදු ද්‍රව්‍යයක් පිළිබඳව කිසිම ප්‍රතිපත්තියක් හෝ කැපවීමක් සිදුකරන බව ප්‍රකාශ කර නැත. එසේම තමන්ගේ සියලු අමුද්‍රව්‍ය සම්බන්ධව මෙවැනි ප්‍රතිඥා ලබා දී ඇති සමාගම් සියයක් අතරින් ඒ සැපයුම් දාමවල සිටින සැපයුම්කරුවන් හෝ අදාළ ප්‍රදේශ හෝ සම්බන්ධව අධීක්ෂණය කරන්නේ සමාගම් 50%ක් පමණකි.

මේ අතර එවැනි සමාගම් සඳහා මූල්‍ය ප්‍රතිපාදන සපයන මූල්‍ය ආයතන අතරින් 61%කට ඔවුන් සපයන ණය හා ආයෝජන හා ඒ නිසා ඇති විය හැකි වන විනාශය පිළිබඳ ප්‍රතිපත්තියක් නොමැත. වන විනාශය ආයෝජන අවදානමක් ලෙස සලකා ඇත්තේ සමාගම් අතරින් 31%ක් පමණකි.

Global Canopy නම් ආයතනයෙන් සිදු කර ඇති 'Forest 500' නම් මේ වාර්තාවට අනුව වන විනාශය සඳහා දායක වන මෙවැනි කටයුතු අවසන් කිරීම සඳහා ලබා දී ඇති එක්සත් ජාතීන්ගේ ඉලක්කය වන 2025 වර්ෂයට තවත් ඇත්තේ වසර දෙකක් පමණි. හරිතාගාර වායු විමෝචන ශුද්ධ ශුන්‍ය බවට පත් කිරීමේ දී මේ වන විනාශය සම්බන්ධ ඉලක්ක ඉතා වැදගත්ය.

මූලාශ්‍රය - Forest 500, https://forest500.org

No comments:

Post a Comment