Thursday, November 29, 2018

ලෝක පරිසර හායනය සිතියමකට

ජගත් පරිසර පුවත් 290 - 28.11.2018


ධනේෂ් විසුම්පෙරුම
විදුසර, 28.11.2018, පි. 3 (Vidusara)



ලෝකයේ විවිධ ප‍්‍රදේශවල සිදු වී ඇති පරිසර හායනය පිළිබඳව දැක්වෙන සිතියමක් සකස් කිරීමට විද්‍යාඥයන් පිරිසක් විසින් සමත්ව තිබෙයි. එමගින් 1992 හා 2015 අතර ගෙවුණු වසර 23ක පමණ කාලයේදී ලෝකයේ සිදුවූ භූමි භාවිතයේ සිදුව ඇති වෙනස්වීම් පිළිබඳව දැක්වෙයි. යුරෝපා අභ්‍යවකාශ ආයතනයේ චන්ද්‍රිකා ඡායාරූප යොදාගනිමින් ඉහළ විභේදනයක් සහිත දත්ත ඇතුළත් සිතියමක් සකස් කිරීමට හැකියාව ලැබී ඇත.

මෙහිදී පෙනී ගොස් ඇති ආකාරයට ලෝකයේ භූමි භාවිතයේ සැලකිය යුතු තරම් බරපතළ වෙනස්කම් සිදුව ඇත. අධ්‍යයනයට ලක් කළ කාලය ඇතුළත ලෝකයේ මුළු බිම් ප‍්‍රමාණයෙන් 22%ක් තරම් ප‍්‍රමාණයක් මිනිය හැකි ආකාරයෙන් වෙනස් වී තිබෙයි. එහිදී මූලික වශයෙන් සිදුව ඇත්තේ වනාන්තර ලෙස පැවති පරිසරය කෘෂිකාර්මික භාවිතයක් සඳහා වෙනස් වීමය. කෙසේ වෙතත් වෙනත් වෙනස්කම්ද සිදුව ඇති අතර ඒවාද මෙම සිතියමෙන් දැක්වෙයි. එ් වෙනස්කම් අතර තෙත්බිම් විනාශ වීම මෙන්ම ඒරල් මුහුද වැනි අභ්‍යන්තර මුහුදු ප‍්‍රදේශ විනාශ වීම හා නාගරිකකරණය ව්‍යාප්ත වීම ආදිය ඇත. මේ පිළිබඳව අද වන විට ලෝකය දන්නා නමුත්, මෙමගින් එම වෙනස්කම් සිදුවන ස්ථාන ආදිය දැක්වීම වැදගත් බව සෙසු විද්‍යාඥයන්ගේද අදහස වෙයි.

ඇතැම් රටවල භූමි භාවිතයේ ඇති වී තිබෙන වෙනස්කම් නිසා මිනිසුන් වෙනත් ප‍්‍රදේශවලට සංක‍්‍රමණය වීමට පවා පටන් ගෙන තිබෙයි. මෙම සංක‍්‍රමණිකයන් බොහෝ විට හඳුන්වනු ලබන්නේ දේශගුණ අනාථයින් ලෙසය. එහෙත්, මේ පිළිබඳව විමසීමෙන් බැලූ විට මෙම සංක‍්‍රමණ සඳහා මූලික බලපා ඇත්තේ වෙනත් හේතු බවද පෙනී ගොස් ඇත. නිදසුනක් ලෙස ගතහොත් මධ්‍යම ඇමරිකාවේ පිහිටා ඇති රටක් වන ගෝතමාලා රාජ්‍යයේ සිට වෙනත් රටවලට ඇතිව තිබෙන සංක‍්‍රමණ සඳහා හේතුව එරට තුළ ඇති වී තිබෙන වන විනාශය බව පෙනෙයි. එම වන විනාශය සඳහා ඉන්ධන ලෙස දැව භාවිතයට ගැනීම මූලිකව බලපා තිබෙයි.

මෙම නව සිතියම මගින් සිදු වී ඇති වෙනස්කම් හඳුනාගැනීමට මෙන්ම අනාගතයේ ඇති විය හැකි වෙනස්කම් ගැන අවබෝධයක් ලබාගැනීමටද ප‍්‍රයෝජනවත් වෙයි. එසේම, එය පර්යේෂකයන් සඳහා ඵලදායී මෙවලමක් වනු ඇති බව පැහැදිලිය. (මූලාශ‍්‍රය: International Journal of Applied Earth Observation and Geoinformation, DOI: 10.1016/j.jag.2018.09.013)

හරිතාගාර වායු සාන්ද්‍රණය තවදුරටත් ඉහළට

ජගත් පරිසර පුවත් 290 - 28.11.2018


ධනේෂ් විසුම්පෙරුම
විදුසර, 28.11.2018, පි. 3 (Vidusara)



ලෝකයේ උෂ්ණත්වය ඉහළ යෑමට දායක වන ප‍්‍රධාන හරිතාගාර වායුවල සාන්ද්‍රණය 2017 වර්ෂයේදීද ඉහළ ගොස් ඇතැයි ලෝක කාලගුණවිද්‍යා සංවිධායනය (WMO) විසින් නිකුත් කරන හරිතාගාර වායු සංග‍්‍රහය (WMO Greenhouse Gas Bulletin) සඳහන් කරයි. එපමණක් නොව එම වායුවර්ගවල සාන්ද්‍රණය පහළ යන බවක සලකුණු දැකිය නොහැකි බවද එහි සඳහන් වෙයි. 

ලෝකයේ ප‍්‍රධානතම හරිතාගාර වායුව වන කාබන් ඩයොක්සයිඞ් වායුවේ සාන්ද්‍රණය 2017 වර්ෂයේදී මිලියනයකට කොටස් 405.5 දක්වා ළඟා වී ඇත. එය ඉන් පෙර වර්ෂයට වඩා මිලියනයකට කොටස් 2.2ක පමණ වර්ධනයකි. එසේම එය පසුගිය දශකයේ මෙම වායුවේ සාන්ද්‍රණය වාර්ෂික වර්ධනය වූ වේගයට සමානය. කෙසේ වෙතත් 2016ට වඩා 2017දී ඉහළ ගිය සාන්ද්‍රණයේ ප‍්‍රමාණය, 2015 සිට 2016දී ඇති වූ වර්ධනයට වඩා අඩුය. සමස්තයක් ලෙස ගත් විට 2017දී පවත්නා කාබන් ඩයොක්සයිඞ් වායු සාන්ද්‍රණය 1750 වර්ෂයේදී පැවැති ප‍්‍රමාණයට (මිලියනයකට කොටස් 278) වඩා 146%කින් ඉහළය. 

දෙවන වැදගත් හරිතාගාර වායුව වන මීතේන් වායුවේ වායුගෝලීය සාන්ද්‍රණය බිලියනයකට කොටස් 1859 දක්වා ඉහළ ගොස් ඇත. එය පෙර වර්ෂයට වඩා කොටස් 7කින් ඉහළ යෑමකි. එසේම මීතේන් වායු සාන්ද්‍රණය 1750 වර්ෂයේදී පැවැති ප‍්‍රමාණයට වඩා 2017 වන විට 257%කින් පමණ ඉහළ ගොස්ය.
මෙහිදී සලකා බලා ඇති තුන්වන හරිතාගාර වායුව වන නයිට‍්‍රස් ඔක්සයිඞ් වායුවේ වායුගෝලීය සාන්ද්‍රණය බිලියනයකට කොටස් 329.9 දක්වා ඉහළ ගොස් ඇත. එය පෙර වර්ෂයට වඩා කොටස් 0.9කින් ඉහළ යෑමකි. එය එම වායුව 1750 වර්ෂයේ පැවැති සාන්ද්‍රණයට වඩා 122%ක් තරම් ප‍්‍රමාණයකින් ඉහළ යෑමකි.
මෙම වාර්ෂික සංග‍්‍රහයෙහි දැක්වෙන තවත් වැදගත් කරුණක් වන්නේ 1990 හා 2017 වර්ෂ අතර කාලයේදී දිගකල් පවත්නා හරිතාගාර වායුවලින් ලෝකයේ උෂ්ණත්වය ඉහළ යෑමට සිදු වන බලපෑම 41%කින් පමණ ඉහළ ගොස් තිබීමය. එසේම මෙහිදී මිලියනයකට කොටස් 405.5 යන කාබන් ඩයොක්සයිඞ් වායු සාන්ද්‍රණයක් මින් පෙර පැවතියේ අදින් වර්ෂ මිලියන 3ත් 5ත් අතර කාලයකට ඉහත දී බවද දක්වා ඇත. එකළ පැවැති උෂ්ණත්වය අදට වඩා සෙල්සියස් අංශක 3-5 අතර ප‍්‍රමාණයකින් ඉහළ වූ අතර, මුහුදු මට්ටම අදට වඩා මීටර් 10-20න් පමණ ඉහළ විය. (මූලාශ‍්‍රය: WMO Greenhouse Gas Bulletin, www.wmo.int)

ලැව් ගිනි ඉහළ යෑමෙන් කාබන් ඩයොක්සයිඞ් විමෝචන ඉහළට

ජගත් පරිසර පුවත් 289 - 21.11.2018


ධනේෂ් විසුම්පෙරුම
විදුසර, 21.11.2018, පි. 3 (Vidusara)



මෑත කාලයේදී ලෝකයේ ඇති වූ ලැව් ගිනි පිළිබඳව මාධ්‍යවල සැලකිය යුතු අවධානයක් යොමුව තිබිණි. ඇමරිකාවේ කැලිෆෝනියා ප‍්‍රාන්තයේ මෙන්ම ඔස්ටේ‍්‍රිලියාවෙන්ද වඩා මෑතදී ලැව් ගිනි පිළිබඳව අසන්නට ලැබුණිි. එසේම යුරෝපයේ ඇතැම් රටවලින්ද ලැව් ගිනි පිළිබඳව නිතර අසන්නට ලැබෙයි. ස්පාඤ්ඤය, පෘතුගාලය හා ග‍්‍රීසිය මෙවැනි රටවල් අතර වෙයි. ස්වීඩනයෙන්ද ලැවි ගිනි පිළිබඳව වාර්තා විය. මෙසේ වර්ෂයෙන් වර්ෂය තීව‍්‍ර වෙමින් පවත්නා ආන්තික තත්ත්වයේ ලැව් ගිනි නිසා ලෝකයේ කාබන් ඩයොක්සයිඞ් වායු විමෝචන ප‍්‍රමාණය සැලකිය යුතු ප‍්‍රමාණයකින් ඉහළ යා හැකි බවට විද්‍යාඥයන් විසින් අනතුරු හඟවා තිබෙයි.

ලැව් ගිනි ඇති වීම හරිතාගාර වායු විමෝචන ඉහළ යෑම සඳහා ආකාර දෙකකින් බලපායි. ඉන් එකක් වන්නේ වායුගෝලයේ ඇති කාබන් ඩයොක්සයිඞ් වායුව උරාගැනීම සඳහා දායක වන වනාන්තර විනාශවීමය. දෙවැනි ආකාරය වන්නේ වනාන්තර ගිනි ගැනීමෙන් තවතවත් හරිතාගාර වායු විමෝචන වායුගෝලයට එක්වීමය.

ලෝකයේ ඇති වන ලැව් ගිනි නිසා වායුගෝලයට එක්වන කාබන් ඩයොක්සයිඞ් විමෝචන ප‍්‍රමාණය මුළු විමෝචන ප‍්‍රමාණයෙන් 20%ක් පමණ වන බව පැවසේ. එහෙත් ඒ පිළිබඳව විද්‍යාඥයන් අතර මතභේද පවතියි. කෙසේ වෙතත් මේ ප‍්‍රමාණය 30%ක ප‍්‍රමාණයකින් ඉහළ යෑමේ අවදානමක් පවතියි. එය තීරණය වන්නේද අනාගත දේශගුණ වෙනස් වීමේ තරම මතය. මේ පිළිබඳවද ඇතැම් අධ්‍යයනවලින් පෙන්වා දී ඇත. නිදසුනක් ලෙස සෙල්සියස් අංශක 3කින් උෂ්ණත්වය ඉහළ ගියහොත් මධ්‍යධරණී ප‍්‍රදේශයේ ඇති වන ලැව් ගිනි ප‍්‍රමාණය 100%කින් පමණ ඉහළ යා හැකිය. එසේම අංශක 1.5ක උෂ්ණත්වය ඉහළ යාමකදී එම ප‍්‍රදේශයේ ලැව් ගිනි 40%කින් පමණ ඉහළ යා හැකිය.

එසේ විමෝචන ප‍්‍රමාණය ඉහළ යෑම නිසා අවසානයේදී සිදුවිය හැකි දෙයක් වන්නේ පැරිස් දේශගුණ ගිවිසුමේදී එකඟ වූ ඉලක්කය හෙවත් ලෝකයේ උෂ්ණත්වය ඉහළ යෑම සෙල්සියස් අංශක දෙකක සීමාවේ තබාගැනීමට තවදුරටත් අපහසු වීමය. මේ වන විට ලෝකයේ රටවල් ලබා දී ඇති විමෝචන සීමා කිරීමේ පොරොන්දුවලට අනුව ගත වන 21වන ශතවර්ෂය අවසන් වන විට ලෝකයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 3කින් ඉහළ යෑමේ අවදානමක් පවතියි. ඒ අනුව වඩාත් බරපතළ තත්ත්වයේ ලැව් ගිනි මෙන්ම වෙනත් අහිතකර දේශගුණ බලපෑම් අනාගතයේදී අපේක්ෂා කළ හැකිය.

ඞීසල් වායු විමෝචන නිසා පෙණහලුවල වර්ධනය අඩාළ වෙයි?

ජගත් පරිසර පුවත් 289 - 21.11.2018


ධනේෂ් විසුම්පෙරුම
විදුසර, 21.11.2018, පි. 3 (Vidusara)



ඞීසල් වාහනවලින් නිකුත්වන විමෝචනවලට ලක්වන ළමුන්ගේ පෙණහලුවල වර්ධනය අඩාළ විය හැකි බව අධ්‍යයනයක් මගින් පෙන්වාදී තිබෙයි. මෙමගින් ඇති වන බලපෑම ඔවුන්ගේ ජීවිත කාලයටම පැවතිය හැකි එකකි. මෙම අධ්‍යයනය සිදුකර ඇත්තේ බි‍්‍රතාන්‍යයේ මධ්‍යම ලන්ඩන් ප‍්‍රදේශයේ ප‍්‍රාථමික පාසැල් ලමුන් 2164ක් පමණ පිරිසක් යොදාගනිමිනි. එම ළමුන්ගේ පෙණහලු ධාරිතාව 2009-2010 කාලයේදී හා 2013-2014 කාලයේදී මැනීම මගින් සිදුකර ඇති මෙම අධ්‍යයනයේදී ළමුන්ගේ නිවසේ හා පැසැලේ ලිපිනය යොදාගනිමින් ඔවුන් වාර්ෂිකව ලක්වන විමෝචන ප‍්‍රමාණය ගණනය කර ඇත.

එහිදී හෙළි වී ඇති ආකාරයට ඞීසල් විමෝචනවල ඇති නයිට‍්‍රජන් ඩයොක්සයිඞ් මට්ටම අනුමත ප‍්‍රමාණය ඉක්මවා ගියහොත් ළමුන්ගේ පෙණහලු ධාරිතාව 5%කින් අඩු වීම සඳහා එය හේතු විය හැකිය. සාමාන්‍යයෙන් පෙණහලු ධාරිතාව උපරිමයට ළඟාවන්නේ වයස අවුරුදු 18දී පමණ වන අතර, ඉන් පසුව එය අඩු වන බව පැවසේ. එහෙත් මෙවැනි තත්ත්වයක් නිසා වැඩිහිටි වියට පත් වන විට පෙණහලු ධාරිතාව පැවතිය යුතු තත්ත්වයට වඩා අඩු වීම බරපතළ කරුණකි. වයසත් සමඟ එම ධාරිතාව අඩු වීම නිසා අඩුවයසින් මියයෑමේ අවධානමකට ඔවුන් ලක්විය හැකිය.

මෙම අධ්‍යයනයෙන් හෙළි වී ඇති තවත් වැදගත් කරුණක් වන්නේ, වායු දූෂණය අඩු කලාප පිහිටුවීමෙන් පෙණහලු ධාරිතාව අඩුවීමට බලපෑමක් සිදු නොවීමය. ඞීසල් විමෝචන පාලනයේ අරමුණ ඇතිව එම ප‍්‍රදේශවලට ඇතුළු වීමේදී ට‍්‍රක්රථවලින් යම් මුදලක් 2008 වර්ෂයේ සිට අයකරන්නට ගත් පියවර නිසා වායු දූෂණය මදක් අඩු වී ඇත. එහෙත් එමගින් ළමුන්ගේ පෙණහලුවලට සිදු වන හානිය අඩු වී නැති බව මෙම පර්යේෂකයන්ගේ අදහස වෙයි. ඔවුන් පෙන්වා දෙන ආකාරයට පෙණහලු ආබාධ ඇති ළමුන් අධික වායු දූෂණයක් ඇති ප‍්‍රදේශවලින් ඈත් වී දිවි ගෙවීමට හෝ වායු දූෂණයට නිරාවරණය වීම අඩුකිරීමට දෙමාපියන් විසින් පියවර ගත යුතුයි.

මෙවැනි අධ්‍යයනයක් ඞීසල් විමෝචන නිසා සිදුවන වායු දූෂණය සැලකිය යුතු බලපෑමක් ඇතිකරන නගරයක සිදු කළ පළමු අවස්ථාව මෙය වෙයි. එමෙන්ම මෙම අධ්‍යයනයේ පවත්නා තවත් වැදගත්කමක් වන්නේ මෙයින් පෙන්වා දෙන තත්ත්වය ඞීසල් වායු දූෂණය ඉහළ මට්ටමක පවත්නා ලෝකයේ සෙසු නගර රැසකට පොදු කරුණක් විය හැකි නිසාය. (මූලාශ‍්‍රය: The Lancet Public Health, DOI: 10.1016/S2468-2667(18)30202-0)

1970න් පසුව සත්ත්ව ගහනවලින් 60%ක් අඩුවෙලා

ජගත් පරිසර පුවත් 288 - 14.11.2018


ධනේෂ් විසුම්පෙරුම
විදුසර, 14.11.2018, පි. 3 (Vidusara)



1970 වර්ෂයත් 2014 වර්ෂයත් අතර කාලයේදී ලෝකයේ ක්ෂීරපායි, පක්ෂි, උරග හා මත්ස්‍ය කාණ්ඩවල ගහනවල ප‍්‍රමාණය 60%කින් පමණ අඩු වී ඇති අතර, ඒ සඳහා මූලික හේතුව මිනිසුන්ගේ ක‍්‍රියාකාරකම් බවද පසුගියදා පළ වූ වාර්තාවකින් පෙන්වා දී ඇත. ඒ ලෝක වනසත්ත්ව අරමුදල (WWF) හා ලන්ඩන් සත්ත්වවිද්‍යා සංගමය මගින් දෙවසරකට වරක් නිකුත් කරන Living Planet Index වාර්තාවේ පසුගියදා එළි දුටු නවතම සංස්කරණයෙනි. මෙම සංස්කරණය සඳහා විද්‍යාඥයින් 59 දෙනෙකු දායක වී ඇත.

මෙම වාර්තාව සකස් කිරීමේදී ක්ෂීරපායි, පක්ෂි, උරග, මත්ස්‍ය හා උභයජීවී විශේෂ 4000ක් පමණ ගණනකගේ ගහන 16704ක අදාළ කාලයේ සිදුව ඇති වෙනස් වීම් සැලකිල්ලට ගෙන ඇත. මේ අනුව 1970-2014 අතර කාලයේදී මේ විශේෂවල ගහනවල ප‍්‍රමාණය 60%ක සාමාන්‍යයකින් අඩු වී තිබෙයි. මේ අගය සමාන වන්නේ අතීතයේ සිදුව ඇති මහා වඳවීම්වලදී සිදු වූ ආකාරයේ ගහන අඩුවීමකට වීම විශේෂිතය.

මේ වාර්තාවෙන් හෙළිවන සෙසු කරුණු අතර, වඩාත් බරපතළ ලෙස බලපෑමට ලක්ව ඇති පරිසර පද්ධති වන්නේ ගංගා හා විල් ඇතුළත් මිරිදිය පරිසර පද්ධතිය. ඒවායේ වාසය කරන සත්ත්ව ගහනවල ප‍්‍රමාණය 83%ක් තරම් ප‍්‍රමාණයකින් පහළ වැටී ඇත. එසේම ලෝකයේ විවිධ කලාප අතරින් වැඩිම බලපෑමකට ලක්ව ඇත්තේ දකුණු හා මධ්‍යම ඇමරිකාවයි. එම කලාපවල සත්ත්ව ගහන 89%කින් පමණ අඩු වී ඇත.

මෙසේ සත්ත්ව ගහනවල අඩුවීම සඳහා හේතු වී ඇති ප‍්‍රධාන මානව ක‍්‍රියාකාරකම වන්නේ ස්වාභාවික වාසස්ථාන විනාශ කිරීමයි. ඒ මූලික වශයෙන් කෘෂි කටයුතු සඳහා අවශ්‍ය ඉඩම් ලබාගැනීම සඳහාය. සතුන් හා මසුන් දඩයම් කිරීම දෙවැනි තැනට වැදගත් වන සාධකය වෙයි. එසේම පරිසර ¥ෂණය හා ආගන්තුක ආක්‍‍්‍රමණික ජීවීන්ද මේ සඳහා බලපෑම් කරයි.

උක්ත වාර්තාව අනුව පෙනෙන්නේ ලෝකයේ ආහාර හා සම්පත් සඳහා මිනිසුන් සිදුකරන වෙනස්කම් හමුවේ ලෝකයේ ජීවී ගහන කෙතරම් අවදානමකට ලක්ව තිබේද යන්නය. එහෙත් මේ ජීවි විශේෂ මත මිනිසුන්ගේ පැවැත්මද රඳා පවත්නා බව සැලකිය යුතුය. එසේ නම් මිනිසුන්ගේ පැවැත්මද යම් ආකාරයකින් අවදානමකට ලක්ව ඇති බව පැහැදිලිය. (මූලාශ‍්‍රය: Living Planet Report 2018, www.wwf.org.uk)

ඇන්ටාක්ටික් රක්ෂිත යෝජනාව ඉවතට?

ජගත් පරිසර පුවත් 288 - 14.11.2018


ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 14.11.2018, පි. 3 (Vidusara)



ඇන්ටාක්ටික් මහාද්වීපයේ හා සාගරයේ විශාල ප‍්‍රදේශයක් සාගර ආරක්ෂිත ප‍්‍රදේශයක් ලෙස ප‍්‍රකාශයට පත් කිරීම සඳහා ඇන්ටාක්ටිකාව පිළිබඳව තීරණ ගැනීමට පිහිටුවාගෙන ඇති අන්තර්ජාතික කොමිසමට ඉදිරිපත් වූ යෝජනාවක් එහිදී අනුමත නොවූ බව පසුගියදා වාර්තා විය. මෙම යෝජනාව පරිසරය පිළිබඳ ක‍්‍රියාකාරී කණ්ඩායම් විසින් ඉදිරිපත් කරන ලද්දේ එම ප‍්‍රදේශයේ වෙසෙන සියලූ ජීවීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණ ඇතිවය. එම යෝජනාවට අනුව ඇන්ටාක්ටිකාවේ වෙඩල් මුහුදේ් විශාල ප‍්‍රදේශයක් හා ඇන්ටාක්ටික් අර්ධද්වීපයේ කොටස් ඇතුළුව වර්ග කිලෝමීටර් මිලියන 1.8ක පමණ ප‍්‍රදේශයක් ආරක්ෂිත ප‍්‍රදේශයක් බවට පත් කිරීමට යෝජිත විය. සංසන්දනාත්මකව දක්වන්නේ නම් එය ජර්මනිය මෙන් පස් ගුණයක් තරම් වූ ප‍්‍රදේශයකි. එ් ප‍්‍රදේශයේ සියලූ ආකාරයේ දඩයම් කිරීම තහනම් කිරීම මගින් මහාද්වීපය ආශ‍්‍රිතව වෙසෙන පෙන්ගුවින්, තල්මහ විශේෂ හා සීල් වැනි විවිධ සතුන් සඳහා ආරක්ෂාවක් ලැබෙන බව පෙන්වාදී තිබිණි.

මෙම යෝජනාව, ඇන්ටාක්ටික් සාගර ජීවී සම්පත් සංරක්ෂණය සඳහා වූ කොමිසමට (Commission for the Conservation of Antarctic Marine Living Resources) ඉදිරිපත් වූ අතර එය අනුමත වීමට අවශ්‍ය වූ එ්කමතික අනුමැතිය එහිදී නොලැබිණි. එම කොමිසමට ඉදිරිපත් වන යෝජනාවක් සම්මත වීමට නම් යුරෝපා සංගමය ඇතුළුව රටවල් 25ක් ඇතුළත් කොමිසමේ සියලූ සාමාජික රටවල් ඊට එක`ග විය යුතු ය. එහෙත් උක්ත යෝජනාවට රුසියාව, චීනය හා නෝර්වේ යන රටවලින් බාධා ඇති වී තිබෙයි. මේ නිසා අදාළ යෝජනාව පිළිබඳ සාකච්ඡුාව තීරණයක් නොමැතිව අවසන් වී ඇත.

විද්‍යාත්මක දත්ත පදනම් කරගනිමින් ඉදිරිපත් කරන ලද මෙම යෝජනාව ප‍්‍රතික්ෂේප වීම අවාසනාවන්ත කරුණකි. මීට පෙර ඇන්යාක්ටිකාවේ රොස් මුහුද ආශ‍්‍රිතව මෙවැනි සාගර ආරක්ෂිත ප‍්‍රදේශ ඇති කිරීම සඳහා අනුමැතිය ලැබිණි. මේ තත්ත්වය නිසා ලෝකයේ නොඉඳුල් ප‍්‍රදේශයක් ආරක්ෂා කරගැනීමේදී ඉදිරියේදී යම් යම් ගැටලූ ඇති විය හැකි බවට අදහස් පළ වෙයි. මෙය ලෝකයේ සුවිශේෂ පරිසරයක් ආරක්ෂා කරගැනීම සඳහා ගතහැකිව තිබූ වැදගත් පියවරක් ලෙස උක්ත ආරක්ෂිත ප‍්‍රදේශය සලකන ලදි. විශේෂයෙන් දේශගුණ වෙනස් වීම නිසා ඇතිවන බලපෑම් සම්බන්ධවද යම් කාර්යයක් කළ හැකි සාගරයක් ලෙස මෙම ප‍්‍රදේශය සැලකෙයි.

Monday, November 5, 2018

මිනිසුන් තුළත් ක්ෂුද්‍ර ප්ලාස්ටික්

ජගත් පරිසර පුවත් 287 - 31.10.2018


ධනේෂ් විසුම්පෙරුම
විදුසර, 31.10.2018, පි. 3 (Vidusara)



මිනිසුන් ආශ‍්‍රිතව කළ අධ්‍යයනයකින් මිනිසුන්ගේ ශරීරවලද ක්ෂුද්‍ර ප්ලාස්ටික් ඇතුළත් වන බව අනාවරණය වී ඇත. මිනිස් මල ද්‍රව්‍ය තුළ පළමු වතාවට ක්ෂුද්‍ර ප්ලාස්ටික් ඇතුළත් බව පසුගියදා ඔස්ටි‍්‍රයාවේ වියානා නගරයේ පැවැති සමුළුවකදී පෙන්වා දී ඇත.

එහෙත් එම අධ්‍යයනයේදී භාවිත කර ඇත්තේ කුඩා නිදර්ශකයකි. එ් සඳහා යුරෝපයේ, ජපානයේ හා රුසියාවේ පුද්ගලයින් අට දෙනෙකුගෙන් ලබාගත් මල ද්‍රව්‍ය නිදර්ශක පරීක්ෂා කර ඇත. එ් අනුව ග‍්‍රෑම් 10ක නිදර්ශකයක ක්ෂද්‍ර ප්ලාස්ටික් අංශු 20ක පමණ සාමාන්‍යයෙන් ඇතුළත් බව හෙළි වී තිබෙයි. ඒ අනුව මයික්‍රොමීටර් 50ත් 500ත් අතර ප‍්‍රමාණයේ ප්ලාස්ටික් අංශු මෙහිදී හමු වී තිබෙන අතර පරීක්ෂාවට ලක් කරන ලද ප්ලාස්ටික් වර්ග 10ක් අතරින් 9ක් පමණ මේ නිදර්ශකවලින් හමු වී තිබෙයි. පොලිප්‍රොපිලීන් හා පොලිඑතිලීන් ටෙරෙප්තැලේට් එ්වා අතරින් වඩාත් සුලභව හමු වී ඇති ප්ලාස්ටික් වර්ග වෙයි.

මිනිස් ශරීරයේද ක්ෂුද්‍ර ප්ලාස්ටික් ඇති බවට විද්‍යාඥයින් තුළ පැවති සැකය මේ අනුව තහවුරු වී ඇත. මසුන්ගේ ආහාර මාර්ගයේ, පානීය ජලයේ, සාගරයේ මෙන්ම කෘමීන් තුළද මීට පෙර ක්ෂුද්‍ර ප්ලාස්ටික් හමු වී ඇත. දැන් මිනිසුන්ගේ ආහාර දාමයේද ක්ෂුද්‍ර ප්ලාස්ටික් ඇතුළත් වන බව පැහැදිලි වෙයි. මේ අනුව ලෝකයේ ජනගහනයෙන් 50%ක් පමණ ප‍්‍රමාණයකගේ පමණ මල ද්‍රව්‍යවල ක්ෂුද්‍ර ප්ලාස්ටික් ඇතුළත් විය හැකි බවක් මෙමගින් සිතිය හැකි බව එම පර්යේෂකයන් විසින් පෙන්වා දී ඇත. මේ නිසා ඇතිවිය හැකි බලපෑම් කෙබඳු ආකාරයක විය හැකිද යන්න මෙහිදී අවධානයට ලක් විය යුතු කරුණකි. විශේෂයෙන් ආහාර මාර්ගයේ ඇතුළත් වඩාත් කුඩා ප‍්‍රමාණයේ ක්ෂුද්‍ර ප්ලාස්ටික් එතැනින් ශරීරයේ සෙසු පටකවලට ගමන් කළ හැකිය. නිදසුනක් ලෙස රුධිර පද්ධතියට, වසා පද්ධතියට හා ඇතැම් විට අක්මාව දක්වාද මේවා ගමන් කිරීමේ අවදානමක් තිබෙයි. එම නිසා එහි බලපෑම් සම්බන්ධව වැඩිදුරටත් අධ්‍යයනය කළ යුතු බව පර්යේෂකයන් විසින් දක්වා ඇත. විශේෂයෙන් එමගින් ආහාර ජීර්ණ පද්ධතියේ ප‍්‍රතිශක්තියට බලපෑම් විය හැකි අතර, රෝගකාරක විෂබීජ හා විෂ රසායන ශරීරගත වීමටද හේතු විය හැකිය.