Thursday, May 11, 2017

උණුසුම ඉහළ යෑමේ වේගය අඩු වීම දේශගුණ පුරෝකථනවලට බලපෑමක් නැහැ

ජගත් පරිසර පුවත් 211 - 10.05.2017


ධනේෂ් විසුම්පෙරුම


විදුසර, පි. 3, 10.05.2017 (Vidusara)



ලෝකයේ උෂ්ණත්වය ඉහළ යෑමේ වාර්ෂික වේගය මෑත වසර පහළොවකට ආසන්න කාලයේදී මදක් අඩු වී තිබීමට බලපා ඇති හේතු හා ඒ නිසා ඇති වී තිබෙන තත්ත්වය සම්බන්ධව බොහෝ කරුණු මෑත කාලයේදී සාකච්ඡුා වී ඇත. මේ සිදුවීම මත පදනම්ව දේශගුණ වෙනස් වීම බරපතළ නොවන බව හා එය මානව බලපෑමෙන් හටගත්තක් නොව ස්වාභාවික විචල්‍යතාවයක් බව පෙන්වීමටද ඇතැම් පිරිස් උත්සාහ දරා ඇත.

එහෙත් මේ පිළිබඳව සිදුකරන ලද, පසුගියදා පළ වූ නව අධ්‍යයනයකින් පෙන්වා දී ඇත්තේ මෙසේ උෂ්ණත්වය ඉහළ යෑමේ වේගය අඩු වුවද එමගින් මේ වන විට ප‍්‍රකාශිත දිගුකාලීන දේශගුණ පුරෝකථනවලට බලපෑමක් සිදු නොවන බවයි. 1998-2012 අතර කාලයේදී ඇති වූ මේ තත්ත්වය සම්බන්ධව දීර්ඝව අධ්‍යයනය කර ඇති පර්යේෂකයන් පෙන්වා දෙන්නේ නිරීක්ෂණය කර ඇති කරුණු හා දේශගුණ ආකෘති මගින් සිදු කර ඇති පුරෝකථන අතර අර්ථවත් අපගමනයක් නොමැති බවයි. එ් අනුව සහ මෑතකදී අනාවරණය වී ඇති නව දත්ත අනුව දිගු කාලීන දේශගුණ වෙනස් වීම සඳහා මානව බලපෑම හේතුවන බව වෙනදාටත් වඩා විශ්වාස කළ හැකිය.
මේ අනුව, මෑත කාලයේදී උෂ්ණත්වය ඉහළ යෑමේ වේගය අඩු වීමෙන් අදහස් වන්නේ දේශගුණ වෙනස් වීම නැවතී ඇති බව හා හරිතාගාර වායු විමෝචනවල බලපෑම අඩු වීම ආදි වශයෙන් සංශයවාදීන් විසින් ගෙන ආ අදහස් මේ අනුව යළිත් වරක් තීරණාත්මක ලෙස ප‍්‍රතික්ෂේප වී තිබේ. (මූලාශ‍්‍රය: Nature, DOI: 10.1038/nature22315)

Monday, May 8, 2017

වඳවීමේ අවදානම අව තක්සේරු කරලා

ජගත් පරිසර පුවත් 210 - 03.05.2017


ධනේෂ් විසුම්පෙරුම


විදුසර, පි. 3, 03.05.2017 (Vidusara)



වඳවී යෑමේ අවදානමට ලක් වූයේ යැයි සිතන ජීවී විශේෂ ප‍්‍රමාණය මෙතෙක් සිතුවාට වඩා ඉහළ විය හැකි බව අධ්‍යයනයකින් පෙන්වාදී තිබේ. ඊට හේතුව ජීවීන් වඳවී යාමේ අවදානම අව තක්සේරුකිරීමයි.

වඳවී යෑමේ තර්ජනයේ මට්ටම පිළිබඳව තීරණය කිරීම සඳහා විiඥයින් විසින් යොදාගන්නා ජීවී විශේෂයක භූගෝලීය ව්‍යාප්තිය දක්වන ලෝක සංරක්ෂණ සංගමයේ (IUCN) සිතියම්වල ගැටලූ පැවතීම ඊට හේතු වන බව එම පර්යේෂකයන්ගේ අදහසයි. ඔවුන්ට අනුව මේ සිතියම්වලින් ජීවී විශේෂවලට පැවතිය හැකි වාසස්ථාන ප‍්‍රමාණය පිළිබඳව අධිතක්සේරු කර ඇත. එයට හේතුව ජීවී විශේෂවල වාසය සඳහා නොසුදුසු ප‍්‍රදේශද එ්වාට ඇතුළත් වීමය. එහි ප‍්‍රතිඵලය ලෙස ගහනයේ ප‍්‍රමාණය අධිතක්සේරු වන අතර, තර්ජනයේ ස්වාභාවය අවතක්සේරු වේ.

මේ සඳහා ඔවුන් ඉන්දියාවේ වෙස්ටර්න් ඝාට්ස් කඳු ප‍්‍රදේශයේ වාසය කරන විවිධ මට්ටමේ තර්ජනයක් ඇති පක්ෂි විශේෂ 18ක ව්‍යාප්තිය සඳහා සකස් කර ඇති IUCN සිතියම් නිවැරදිද යන්න අධ්‍යයනය කර ඇත. එ් සඳහා පක්ෂි නිරීක්ෂණය පිළිබඳ මහජන විiා දැනුම හා එම ප‍්‍රදේශ පිළිබඳ භූගෝලීය හා පාරිසරික දත්ත යොදා ගනිමින් එම පක්ෂින් සඳහා නව භූගෝලීය ව්‍යාප්තියක් නිර්මාණය කිරීමට ඔවුන් සමත්ව ඇත. එහිදී හෙළිව ඇත්තේ ඉන් පක්ෂීන් 17ක් සඳහා සකස් කර ඇති IUCN සිතියම්වල අයෝග්‍ය වාසස්ථාන විශාල ප‍්‍රමාණයක් ඇතුළත් වන බවයි. එ් නිසා ඔවුන්ගේ ව්‍යාප්තිය අධිතක්සේරු කර ඇත. එම පක්ෂි විශේෂ 18න් 10කගේ තර්ජිත මට්ටම ඉහළ නැංවිය යුතු බව ඔවුන්ගේ අදහස වේ.

මේ ක‍්‍රමවේදය යොදාගනිමින් ලෝකයේ ජීවී විශේෂවල ව්‍යාප්තිය හා වඳවීමේ තර්ජනයේ මට්ටම සංශෝධනය කළ හැකි බව මේ පර්යේෂකයන්ගේ අදහස වේ.

(මූලාශ‍්‍රය: Biological Conservation, DOI: 10.1016/j.biocon.2017.03.019)

කාබන් ඩයොක්සයිඞ් සාන්ද්‍රණය 410 ppm අගය ඉක්මවයි

ජගත් පරිසර පුවත් 210 - 03.05.2017


ධනේෂ් විසුම්පෙරුම


විදුසර, පි. 3, 03.05.2017 (Vidusara)


පෘථිවි වායුගෝලයේ කාබන් ඩයොක්සයිඞ් සාන්ද්‍රණය පසුගියදා ප‍්‍රථම වතාවට මිලියනයකට කොටස් 410 අගය ඉක්මවා ගොස් තිබේ. 410.28 ppm වූ එම අගය වාර්තා වී ඇත්තේ හවායිහි මොනා ලෝආ නම් නීරීක්ෂණාගාරයෙනි. මේ අගය මාර්තු හෝ අපේ‍්‍රල් මාසයේදී වාර්තා වනු ඇති බවක් මීට පෙර බි‍්‍රතාන්‍ය කාලගුණ කාර්යාලයද පෙන්වා දී තිබිණි. පෘථිවියේ කාබන් ඩයොක්සයිඞ් සාන්ද්‍රණය අඛණ්ඩව වර්ධනය වෙමින් පවත්නා බව මේ අනුව පැහැදිලිව පෙනේ.

මෙම වායුවේ සාන්ද්‍රණය මුල් වරට 400 ppm අගය ඉක්මවූයේ 2013 වර්ෂයේදීය. මේ වන විට එය සාමාන්‍ය අගයයක් බවට පත්වී තිබේ. එම අගය පසුකර වසර කිහිපයක් ඇතුළත 410 අගයට ළ`ගා වීම අවධානය යොමු කළ යුතු කරුණක් බව විiාඥයින්ගේ අදහස වේ. මෑත කාලයේදී වාර්තා වූ කාබන් ඩයොක්සයිඞ් මට්ටමේ ඉහළ යෑම සඳහා පැවැති එල් නිනෝ වැනි ස්වාභාවික සාධකවලද යම් බලපෑමක් ඇති බව පෙන්වාදී තිබේ. එහෙත් එ් සඳහා වැඩි දායකත්වයක් සපයන්නේ මිනිසුන් විසින් සිදුකරන කාබන් ඩයොක්සයිඞ් විමෝචනය බවට තවදුරටත් සැකයක් නොමැත.

මෙහි ඇති තවත් වැදගත් කරුණ වන්නේ ලෝකයේ වායුගෝලයේ කාබන් ඩයොක්සයිඞ් සාන්ද්‍රණය වසර මිලියන ගණනක කාලයකින් ඉහත අගය ඉක්මවා නොතිබීමයි. මේ අනුව අනාගතයේ ලෝක දේශගුණයේ බරපතළ වෙනස් වීම් වැළැක්වීමට නම් හරිතාගාර වායු විමෝචන පාලනය කිරීම සඳහා කඩිනම් හා සාර්ථක පියවරක් ගැනීම අත්‍යවශ්‍ය වේ. පසුගියදා ඇමරිකාවේ ජාතික සාගරික හා වායුගෝලීය පරිපාලනය (NOAA) පවසා තිබූ ආකාරයට මේ වර්ෂයේ ජනවාරි සිට මාර්තු දක්වා ගත වී ඇති වර්ෂය ලෝකයේ වාර්තා වී ඇති දෙවැනි උණුසුම්ම කාර්තුව වේ. එය දෙවැනි වන්නේ 2016 වර්ෂයේ අගයට පමණි.

Wednesday, May 3, 2017

විද්‍යාව වෙනුවෙන් මිහිතල දිනයේ දී වීදි බැසීම

ජගත් පරිසර පුවත් 209


ධනේෂ් විසුම්පෙරුම


විදුසර, පි. 3, 26.04.2017 (Vidusara)



පසුගිය සෙනසුරාදා (අප්‍රේල් 22) දිනට යෙදුණු මිහිතල දිනයේ දී එක්‌ සුවිශේෂ කටයුත්තක්‌ සංවිධානය කර තිබිණි. ඒ සමස්‌තයක්‌ ලෙස විෆාව සම්බන්ධව අනුගමනය කරනු ලබන නිෂේධනීය ප්‍රත්පත්තිවලට විරෝධය දක්‌වමින් හා විද්‍යාවේ කාර්යභාරය හුවා දක්‌වමින් සිදුකරන ලද පා ගමන් හා රැළිවලින් යුක්‌ත විරෝධතා ව්‍යාපාරයකි. එහි සංවිධායකයන් මේ විරෝධතාවේ කිසිදු පක්‌ෂාග්‍රාහී බවක්‌ නොමැති බව දක්‌වා ඇතත්, මේ විරෝධතාව ආරම්භ වූයේ මේ වර්ෂයේ ජනවාරි මාසයේ දී ඇමෙරිකානු ජනාධිපති ධූරයට පත් ඩොනල්ඩ් ට්‍රම්ප් අනුගමනය කරන ප්‍රතිපත්තිවලට එරෙහි ව ය. විශේෂයෙන් ඔහු දේශගුණ වෙනස්‌ වීම හා පොදුවේ විද්‍යාව සම්බන්ධව අනුගමනය කරන ප්‍රතිපත්තිවලට එරෙහි ව දියත් කරන ලද්දකි.

'විද්‍යාව සඳහා පා නගමු' (March for Science) යන මැයෙන් සංවිධානය කරන ලද මේ විරෝධතා ව්‍යාපාරයේ ප්‍රධාන විරෝධතාව පැවත්වුනේ ඇමෙරිකාවේ අගනුවර වූ වොෂින්ටන් නගරයේ දී ය. මේ හැර ඇමෙරිකානු නගර ගණනාවක්‌ ඇතුළු ලෝකය පුරා නගර හය සියයකට ආසන්න ප්‍රමාණයක මෙවැනි විරෝධතා ව්‍යාපාර පවත්වන ලදි. මේ විරෝධතා සඳහා දහස්‌ ගණනක්‌ විද්‍යාඥයන් මෙන්ම විද්‍යාවට ලැදි සාමාන්‍ය ජනතාව සහභාගි වී තිබීම විශේෂත්වයකි. විද්‍යාව වෙනුවෙන් පෙනී සිටිමින් විද්‍යාත්මක දැනුමට එරෙහි වූවන්ට විරුද්ධ විරෝධතා පුවරු මේවායේ දී දැකගත හැකි විය.

විද්‍යාව වෙනුවෙන් වූ මේ ව්‍යාපාරය ආරම්භ වූයේ ඇමෙරිකානු ජනාධිපතිවරයා විසින් සිදු කරන ලද ප්‍රකාශ හා ගත් පියවර සමග ය. විශේෂයෙන් දේශගුණ වෙනස්‌ වීම පිළිබඳව හා විද්‍යාත්මක පර්යේෂණ හා දැනුම පිළිබඳ ට්‍රම්ප් පාලනය විසින් ගනු ලැබූ පියවර හා අනතුරු හැගවීම් හමුවේ මේ ව්‍යාපාරය ආරම්භ විය. ඒ සඳහා ජගත් මට්‌ටමෙන් සහයෝගය ලැබිණි. ඒ සමස්‌තයක්‌ ලෙස, ජගත් මට්‌ටමින් විද්‍යාවට එරෙහිව ඇති දේශපාලනමය පීඩනයට එරෙහි ව ය.

මේ පා ගමනේ සංවිධායකයන් ඒ සඳහා තෝරාගත්තේ මිහිතල දිනයයි. 1970 වර්ෂයේ අප්‍රේල් 22 දින ඇමෙරිකාවේ පැවැති අධික පරිසර දූෂණයට එරෙහි ව රට පුරා එල්ල වූ ජනතා විරෝධයක්‌ මිහිතල දිනයේ ආරම්භය වේ.

http://www.vidusara.com/2017/04/26/news2.html

Monday, August 1, 2016

ආසියානු නගරවල වායු දූෂණය පාලනයට ගැටලූ - පරිසර පුවත් 008 (10.04.2013)

ධනේෂ් විසුම්පෙරුම

 

විදුසර, 10.04.2013

Vidusara - World Environmental News (10.04.2013)

ආසියානු නගරවල වායු දූෂණය පාලනයට ගැටලූ


බොහෝ දියුණු රටවල් කලකට පෙර අම්ල වැසි වැනි තත්ත්වවලින් පීඩා විඳි නමුත් එ් රටවල ප‍්‍රධාන නගරවල වායු දූෂණය මේ වන විට බෙහෙවින් අඩු වී ඇත. ඊට හේතුව වසර තිහකට පමණ පෙර සිට අදාළ රටවල පිරිසිදු වාතය හා සම්බන්ධ නීති රීති ක‍්‍රියාත්මක වීමයි. එහෙත් ආසියානු රටවල විශාල නගරවල තත්ත්වය මීට වඩා වෙනස්ය. එ් නගරවල වායු දූෂණය තවමත් ඉහළ වන අතර අම්ල වැසි ඇතිවීමද ඉහළ යමින් තිබේ.

මේ තත්ත්වය පෙන්වා දෙන්නේ ඇමරිකාවේ තත්ත්වය හා නැගෙනහිර ආසියානු කලාපයේ රටවල නාගරික ප‍්‍රදේශවල තත්ත්වය පිළිබඳව සිදුකරන ලද අධ්‍යයනයකිනි. නැගෙනහිර ආසියානු රටවල මේ තත්ත්වය සඳහා හේතු වී ඇත්තේ වායු දූෂණය වැළැක්වීම සඳහා ක‍්‍රියාත්මක වන නීති ප‍්‍රමාණවත් නොවීමත් පවත්නා නීති නිසි ආකාරයෙන් ක‍්‍රියාත්මක නොවීමත් බව පෙන්වාදී ඇත. අවාසනාවකට මෙන් මේ තත්ත්වය දියුණුවන රටවල් අතර බෙහෙවින් දැකිය හැකි තත්ත්වයකි.

(මූලාශ‍්‍රය: Atmospheric Environment, DOI: 10.1016/j.atmosenv.2013.01.033)

දේශගුණ වෙනස්වීමෙන් ජයගන්නා පෙන්ගුවින් විශේෂයක් - පරිසර පුවත් 008 (10.04.2013)

ධනේෂ් විසුම්පෙරුම

 

විදුසර, 10.04.2013

Vidusara - World Environmental News (10.04.2013)

දේශගුණ වෙනස්වීමෙන් ජයගන්නා පෙන්ගුවින් විශේෂයක්

 

ධ‍්‍රැව ප‍්‍රදේශවල ජීවත්වන සත්ත්ව විශේෂ රැුසකට දේශගුණ වෙනස්වීම අහිතකර සේ බලපායි. එහෙත් එක් පෙන්ගුවින් විශේෂයකට එය ඊට වඩා වෙනස් බලපාන බව පසුගියදා වාර්තා විය. එ් අඩෙලි පෙන්ගුවින් නම්න් හැඳින්වෙන Pygoscelis adeliae නම් පෙන්ගුවින් විශේෂයයි.

මේ බව හෙළි වී ඇත්තේ 1958 සිට 2010 කාලය දක්වා කාලයේදී ඇන්ටාක්ටිකාවේ එක් ඇඩෙලි පෙන්ගුවින් ගහනයක බිත්තර දැමීමට හැකි ප‍්‍රදේශවල වෙනස්වීම හා ගහනයේ ප‍්‍රමාණය පිළිබඳව සිදුකළ අධ්‍යයනයකිනි. මේ කාලය අතර මේ ප‍්‍රදේශයේ අයිස් ක්ෂේත‍්‍රය අඩුවී ගොස් ඇති අතර අයිස්වලින් වටවූ විවෘත ජලය සහිත ප‍්‍රදේශ (පොලිනියා - Polynya) ඉහළ ගොස් ඇත. එසේම 1980 දශකයේ සිට මේ ප‍්‍රදේශයේ උෂ්ණත්වය දශකයකට සෙල්සියස් අංශක 0.5කින් පමණ ඉහළ ගොස් ඇත.

කෙසේ වෙතත් ඇඩෙලි පෙන්ගුවින් ගහනය 84%කින් ඉහළ ගොස් ඇති අතර ඔවුන්ට යෝග්‍ය වාසස්ථාන ප‍්‍රදේශය 71%කින්ද වර්ධනය වී ඇත. කැපීපෙනෙන වර්ධනයක් සිදුව ඇත්තේ 1980 දශකයෙන් පසුව වීම විශේෂයකි. ඉදිරියේදී ඇන්ටාක්ටිකාවේ වෙනත් ප‍්‍රදේශවලද මේ පෙන්ගවින් විශේෂයට යහපත් තත්ත්ව ඇතිවීමේ අවස්ථාවක් තිබේ. 

(මූලාශ‍්‍රය: PLoS ONE, DOI: 10.1371/journal.pone.0060568)

ගව මස් හා සෝයා අපනයනය නිසා වැනසෙන ඇමසන් වනය - පරිසර පුවත් 008 (10.04.2013)

ධනේෂ් විසුම්පෙරුම

 

විදුසර, 10.04.2013

Vidusara - World Environmental News (10.04.2013)

ගව මස් හා සෝයා අපනයනය නිසා වැනසෙන ඇමසන් වනය


බ‍්‍රසීලයේ පිහිටි ලෝකයේ විශාලතම වනාන්තරයක් වන ඇමසන් වනාන්තරය හෙළි වීම ජගත් මට්ටමින් සාකච්ඡුාවට ලක්ව ඇති පාරිසරික ගැටලූවකි. මේ විනාශයට බලපාන ප‍්‍රධාන හේතු අතර ඇති ගවමස් හා සෝයා බෝංචි පරිභෝජනය බව පෙන්වා දෙන අධ්‍යයනයක් ඉන් කොටසක් සඳහා ජගත් මට්ටමින් වගකිව යුතු බවද පෙන්වාදී තිබේ.

1990-2012 අතර කාලයේ බ‍්‍රසීලයේ ඇමසන් වනාන්තරයේ වන විනාශය නිසා නිකුත් වී ඇති හරිතාගාර වායු විමෝචන හා ඊට බලපා ඇති ප‍්‍රධාන සාධක දෙකක් වන ගව පාලනයේ හා සෝයා වගාවේ තරම සම්බන්ධ කිරීමෙන් මේ අපූරු පර්යේෂණය සිදුකර ඇත. එ් අනුව මෑත කාලයේදී මේ ද්‍රව්‍ය පරිභෝජනය හා අපනයනය ඉහළ ගොස් ඇත.

ගව මස් මෙන්ම සෝයාවල වැඩි පරිභෝජනයක් සිදුවන්නේ බ‍්‍රසීලය තුළ වන නිසා ඊට වැඩි වගකීමක් ඇත්තේ බ‍්‍රසීලයේම බව පෙනේ. එහෙත් ඉන් කොටසක් අපනයනය කරන බැවින් මේ වායු විමෝචන අතරින් කොටසකට ලෝකයේ සෙසු රටවලද යම් වගකීමක් තිබේ. බ‍්‍රසීල වන විනාශයෙන් නිකුත්වන විමෝචනවලින් 30%ක් බ‍්‍රසීලයෙන් අපනයනය කරන ද්‍රව්‍ය නිසා නිකත් වේ. ඉන් 19%ක් සෝයා බෝංචි නිසා වන අතර 71%ක් පමණ ගව පාලනය මගින් විමෝචනය වේ. දිනෙන් දින මේ අපනයන ඉහළ යන අතර, යුරෝපා වෙළෙඳපොළට වඩා වැඩි සෝයා හා ගවමස් ප‍්‍රමාණයක් ආසියාවට අපනයනය කෙරේ. එ් චීනයේ හා රුසියාවේ පරිභෝජනය නිසාය.

මේ අනුව පෙනෙන තවත් කරුණක් වන්නේ ජාත්‍යන්තර වෙළෙඳාම නිසා ඇමසන් වනාන්තරය සංරක්ෂණ කිරීමට ක‍්‍රියාත්මක වන ජගත් මට්ටමේ වැඩසටහන්වල ඵලදායී බව අවතක්සේරු කරන බවය.

(මූලාශ‍්‍රය: Environmental Research Letters, DOI: 10.1088/1748-9326/8/2/024005)