Monday, May 8, 2017

කාබන් ඩයොක්සයිඞ් සාන්ද්‍රණය 410 ppm අගය ඉක්මවයි

ජගත් පරිසර පුවත් 210 - 03.05.2017


ධනේෂ් විසුම්පෙරුම


විදුසර, පි. 3, 03.05.2017 (Vidusara)


පෘථිවි වායුගෝලයේ කාබන් ඩයොක්සයිඞ් සාන්ද්‍රණය පසුගියදා ප‍්‍රථම වතාවට මිලියනයකට කොටස් 410 අගය ඉක්මවා ගොස් තිබේ. 410.28 ppm වූ එම අගය වාර්තා වී ඇත්තේ හවායිහි මොනා ලෝආ නම් නීරීක්ෂණාගාරයෙනි. මේ අගය මාර්තු හෝ අපේ‍්‍රල් මාසයේදී වාර්තා වනු ඇති බවක් මීට පෙර බි‍්‍රතාන්‍ය කාලගුණ කාර්යාලයද පෙන්වා දී තිබිණි. පෘථිවියේ කාබන් ඩයොක්සයිඞ් සාන්ද්‍රණය අඛණ්ඩව වර්ධනය වෙමින් පවත්නා බව මේ අනුව පැහැදිලිව පෙනේ.

මෙම වායුවේ සාන්ද්‍රණය මුල් වරට 400 ppm අගය ඉක්මවූයේ 2013 වර්ෂයේදීය. මේ වන විට එය සාමාන්‍ය අගයයක් බවට පත්වී තිබේ. එම අගය පසුකර වසර කිහිපයක් ඇතුළත 410 අගයට ළ`ගා වීම අවධානය යොමු කළ යුතු කරුණක් බව විiාඥයින්ගේ අදහස වේ. මෑත කාලයේදී වාර්තා වූ කාබන් ඩයොක්සයිඞ් මට්ටමේ ඉහළ යෑම සඳහා පැවැති එල් නිනෝ වැනි ස්වාභාවික සාධකවලද යම් බලපෑමක් ඇති බව පෙන්වාදී තිබේ. එහෙත් එ් සඳහා වැඩි දායකත්වයක් සපයන්නේ මිනිසුන් විසින් සිදුකරන කාබන් ඩයොක්සයිඞ් විමෝචනය බවට තවදුරටත් සැකයක් නොමැත.

මෙහි ඇති තවත් වැදගත් කරුණ වන්නේ ලෝකයේ වායුගෝලයේ කාබන් ඩයොක්සයිඞ් සාන්ද්‍රණය වසර මිලියන ගණනක කාලයකින් ඉහත අගය ඉක්මවා නොතිබීමයි. මේ අනුව අනාගතයේ ලෝක දේශගුණයේ බරපතළ වෙනස් වීම් වැළැක්වීමට නම් හරිතාගාර වායු විමෝචන පාලනය කිරීම සඳහා කඩිනම් හා සාර්ථක පියවරක් ගැනීම අත්‍යවශ්‍ය වේ. පසුගියදා ඇමරිකාවේ ජාතික සාගරික හා වායුගෝලීය පරිපාලනය (NOAA) පවසා තිබූ ආකාරයට මේ වර්ෂයේ ජනවාරි සිට මාර්තු දක්වා ගත වී ඇති වර්ෂය ලෝකයේ වාර්තා වී ඇති දෙවැනි උණුසුම්ම කාර්තුව වේ. එය දෙවැනි වන්නේ 2016 වර්ෂයේ අගයට පමණි.

No comments:

Post a Comment