Wednesday, May 3, 2017

විද්‍යාව වෙනුවෙන් මිහිතල දිනයේ දී වීදි බැසීම

ජගත් පරිසර පුවත් 209


ධනේෂ් විසුම්පෙරුම


විදුසර, පි. 3, 26.04.2017 (Vidusara)



පසුගිය සෙනසුරාදා (අප්‍රේල් 22) දිනට යෙදුණු මිහිතල දිනයේ දී එක්‌ සුවිශේෂ කටයුත්තක්‌ සංවිධානය කර තිබිණි. ඒ සමස්‌තයක්‌ ලෙස විෆාව සම්බන්ධව අනුගමනය කරනු ලබන නිෂේධනීය ප්‍රත්පත්තිවලට විරෝධය දක්‌වමින් හා විද්‍යාවේ කාර්යභාරය හුවා දක්‌වමින් සිදුකරන ලද පා ගමන් හා රැළිවලින් යුක්‌ත විරෝධතා ව්‍යාපාරයකි. එහි සංවිධායකයන් මේ විරෝධතාවේ කිසිදු පක්‌ෂාග්‍රාහී බවක්‌ නොමැති බව දක්‌වා ඇතත්, මේ විරෝධතාව ආරම්භ වූයේ මේ වර්ෂයේ ජනවාරි මාසයේ දී ඇමෙරිකානු ජනාධිපති ධූරයට පත් ඩොනල්ඩ් ට්‍රම්ප් අනුගමනය කරන ප්‍රතිපත්තිවලට එරෙහි ව ය. විශේෂයෙන් ඔහු දේශගුණ වෙනස්‌ වීම හා පොදුවේ විද්‍යාව සම්බන්ධව අනුගමනය කරන ප්‍රතිපත්තිවලට එරෙහි ව දියත් කරන ලද්දකි.

'විද්‍යාව සඳහා පා නගමු' (March for Science) යන මැයෙන් සංවිධානය කරන ලද මේ විරෝධතා ව්‍යාපාරයේ ප්‍රධාන විරෝධතාව පැවත්වුනේ ඇමෙරිකාවේ අගනුවර වූ වොෂින්ටන් නගරයේ දී ය. මේ හැර ඇමෙරිකානු නගර ගණනාවක්‌ ඇතුළු ලෝකය පුරා නගර හය සියයකට ආසන්න ප්‍රමාණයක මෙවැනි විරෝධතා ව්‍යාපාර පවත්වන ලදි. මේ විරෝධතා සඳහා දහස්‌ ගණනක්‌ විද්‍යාඥයන් මෙන්ම විද්‍යාවට ලැදි සාමාන්‍ය ජනතාව සහභාගි වී තිබීම විශේෂත්වයකි. විද්‍යාව වෙනුවෙන් පෙනී සිටිමින් විද්‍යාත්මක දැනුමට එරෙහි වූවන්ට විරුද්ධ විරෝධතා පුවරු මේවායේ දී දැකගත හැකි විය.

විද්‍යාව වෙනුවෙන් වූ මේ ව්‍යාපාරය ආරම්භ වූයේ ඇමෙරිකානු ජනාධිපතිවරයා විසින් සිදු කරන ලද ප්‍රකාශ හා ගත් පියවර සමග ය. විශේෂයෙන් දේශගුණ වෙනස්‌ වීම පිළිබඳව හා විද්‍යාත්මක පර්යේෂණ හා දැනුම පිළිබඳ ට්‍රම්ප් පාලනය විසින් ගනු ලැබූ පියවර හා අනතුරු හැගවීම් හමුවේ මේ ව්‍යාපාරය ආරම්භ විය. ඒ සඳහා ජගත් මට්‌ටමෙන් සහයෝගය ලැබිණි. ඒ සමස්‌තයක්‌ ලෙස, ජගත් මට්‌ටමින් විද්‍යාවට එරෙහිව ඇති දේශපාලනමය පීඩනයට එරෙහි ව ය.

මේ පා ගමනේ සංවිධායකයන් ඒ සඳහා තෝරාගත්තේ මිහිතල දිනයයි. 1970 වර්ෂයේ අප්‍රේල් 22 දින ඇමෙරිකාවේ පැවැති අධික පරිසර දූෂණයට එරෙහි ව රට පුරා එල්ල වූ ජනතා විරෝධයක්‌ මිහිතල දිනයේ ආරම්භය වේ.

http://www.vidusara.com/2017/04/26/news2.html

No comments:

Post a Comment