Monday, April 30, 2018

ඇමරිකානුවන්ගේ ආහාර නාස්තිය

ජගත් පරිසර පුවත් 260 - 25.04.2018


ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 25.04.2018, පි. 3 (Vidusara)



ඇමරිකානුවන් විසින් සිදුකරන ආහාර නාස්තිය පිළිබඳව පළවී ඇති අධ්‍යයනයකින් හෙළි වී ඇති පරිදි එරට ජීවත් වන එක් පුද්ගලයෙකු, එක් දිනකට ග‍්‍රෑම් 422ක් පමණ ආහාර ප‍්‍රමාණයක් අපතේ යවයි. එසේම වඩාත් වැඩි වශයෙන් අපතේ යවනු ලබන ආහාර වන්නේ පලතුරු හා එළවළුය. ඉන්පසුව වඩාත් වැඩි වශයෙන් නාස්ති කරන්නේ කිරි නිෂ්පාදන හා මස් නිෂ්පාදනය.

උක්ත අධ්‍යයනයෙන් හෙළි වි ඇති ආකාරයට සමස්තයක් ලෙස ගතහොත් ඇමරිකාව පුරා නිවෙස්වලින් එක් දිනකදී බැහැර කරනු ලබන ආහාර ප‍්‍රමාණය ටොන් 150,000ක් පමණ වෙයි. මේ ප‍්‍රමාණයේ පාරිසරික පියසටහන හෙවත් වැයවන සම්පත් ප‍්‍රමාණයද මෙහිදී ගණන් බලා ඇත. එ් අනුව මේ ආහාර ප‍්‍රමාණය නිෂ්පාදනය කිරීම සඳහා වාර්ෂිකව භූමිය අක්කර මිලියන 30ක්, පළිබෝධනාශක රාත්තල් මිලියන 780ක්, නයිට‍්‍රජන්, පොස්පරස් හා පොටෑසියම් පොහොර රාත්තල් බිලියන 5.6ක් හා වාරිජලය ගැලූම් ටි‍්‍රලියන 4.2ක් පමණ ප‍්‍රමාණයක් අවශ්‍ය වේ. එසේම මෙසේ බැහැර කරනු ලබන ආහාර බැහැර කෙරෙන්නේ බිම් පිරවුම්වලට වන අතර එ්වායේදී නිපදවෙන මීතේන් වායුව ප‍්‍රබල හරිතාගාර වායුවකි.

ඇමරිකාවේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පර්යේෂකයන් විසින් 2007-2014 දක්වා වූ වසර 8ක කාලයට අයත් දත්ත යොදාගනිමින් සිදුකර ඇති මෙම අධ්‍යයනයේදී අනාවරණය වු තවත් වැදගත් කරුණක් වන්නේ වැඩිම නාස්තියක් සිදුකරන්නේ එළවළු හා පලතුරු ඇතුළත් වඩාත් සෞඛ්‍යමත් ආහාර අනුභව කරනු ලබන පිරිස් විසින් වීමය. එයට එක් හේතුවක් වන්නේ ඔවුන් එම ආහාර ද්‍රව්‍ය ඉහළ ප‍්‍රමාණයක් පරිභෝජනය කිරීමය.

මෙමගින් ආහාර නාස්තිය අවම කිරීමේ ඇති වැදගත්කම මෙන්ම ආහාර පරිභෝජනය කිරීමේදී එළවළු හා පලතුරු වැනි ආහාර නාස්තිය වැළැක්වීම පිළිබඳව පාරිභෝගිකයන්ගේ ආකල්ප වෙනස් කරවීමේ ඇති වැදගත්කමද පෙන්වා දෙයි. දියුණු රටවල දැකිය හැකි මෙම නාස්තිකාරී පරිභෝජන රටාව පැහැදිලි සම්පත් නාස්තියකි. (මූලාශ‍්‍රය: Plos One, DOI: 10.1371/journal.pone.0195405)

No comments:

Post a Comment