Monday, April 30, 2018

ඉලෙක්ට්‍රොනික් අපද්‍රව්‍යවලින් ලෝහ ලබාගැනීම වඩා ලාබයි

ජගත් පරිසර පුවත් 259 - 18.04.2018


ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 18.04.2018, පි. 3 (Vidusara)



භාවිතයෙන් අනතුරුව ඉවතලන ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍යවල ඇතුළත් වන භාවිත කළ හැකි කොටස් හා ලෝහ වර්ග ආපසු ලබාගැනීම සඳහා කටයුතු කිරීම කාර්මික ලෙස මෙන්ම ගෘහාශ‍්‍රිතව සිදුකරනු ලබන කර්මාන්තයකි. මෙය නාගරික කැනීම් (Urban mining) ලෙසද හැඳින්වේ. කෙසේ වෙතත් ලෝහ වර්ග ආපසු ලබාගැනීමට ගන්නා උත්සාහය ආර්ථික වශයෙන් කෙතරම් ඵලදායකද යන්න මෙතෙක් පැහැදිලි නොවූ කරුණකි. මේ පිළිබඳව සිදුකරන ලද අධ්‍යයනයකට අනුව ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍යවලින් රන්, තඹ හා වෙනත් ලෝහ ලබාගැනීම, භූමියේ පතල් කැනීම් මගින් එම ලෝහ ලබාගැනීමට වඩා ලාබදායකය.

ලෝකයේ වාර්ෂිකව ඉවතලන ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය ප‍්‍රමාණය විශාලය. නිදසුනක් ලෙස ගතහොත්, 2018 වර්ෂයේදී ඉවත දමනු ඇතැයි අපේක්ෂිත මේ කාණ්ඩයේ අපද්‍රව්‍ය ප‍්‍රමාණය ටොන් මිලියන 50ක් බව ගණන් බලා ඇත. මේ අධ්‍යයනය සිදු කළ පර්යේෂකයන් චීනයේ ප‍්‍රතිචක‍්‍රිකරණ සමාගම් අටකට මෙම ලෝහ ලබාගැනීම සඳහා යන වියදම ගණනය කර ඇත. මේ සඳහා අපද්‍රව්‍ය එකතු කිරීම, ශ‍්‍රමය, බලශක්තිය, අවශ්‍ය ද්‍රව්‍ය හා ප‍්‍රවාහනය මෙන්ම ප‍්‍රතිචක‍්‍රිකරණය කරන ආයතනයේ ප‍්‍රාග්ධන වියදම්ද සලකා බලා ඇත. මේ වියදම් රාජ්‍ය අංශයෙන් ලබාදෙන සහන හා ලබාගත් ලෝහ හා වෙනත් ද්‍රව්‍ය අලෙවිය මගින් හිලව් වෙයි. මේ හිලව් වීමත් සමඟ වුවද ඉලෙක්ට්‍රොනික් අපද්‍රව්‍යවලින් මෙම ලෝහ ලබාගැනීමට යන වියදම මෙන් 13 ගුණයක් වැඩි වියදමක් පොළොවේ ඇති නිධි කැනීමෙන් එම ලෝහවර්ග ලබාගැනීමට අවශ්‍ය වේ. මෙම අධ්‍යයනයේදී අවධානය යොමු කරන ඇත්තේ රූපවාහිනී ප‍්‍රතිචක‍්‍රිකරණය සඳහා පමණක් වුවත්, එය සෙසු උපකරණවලටද අදාළ කරගත හැකි බව පර්යේෂකයන්ගේ අදහසයි.

මෙහි ඇති අනෙක් වැදගත්කම වන්නේ මෙමගින් සම්පත් නැවත චක‍්‍රිකරණයට ලක්කිරිමේ ඇති වටිනාකම මෙමගින් අවධාරණය වීමයි. රේඛීය ආර්ථිකයකට වඩා චක‍්‍රිය ආර්ථිකයක් පාරිසරික වශයෙන් මෙන්ම ආර්ථික වශයෙන් හා දිගුකාලීන වශයෙන් වැදගත් හා තිරසර වූවක්ද වෙයි. (මූලාශ‍්‍රය: Environmental Science & Technology, DOI: 10.1021/acs.est.7b04909)

No comments:

Post a Comment