Friday, April 13, 2018

නාවුක ගමනාගමනයේ කාබන් විමෝචන සීමා කළ යුතුයි?

ජගත් පරිසර පුවත් 257 - 04.04.2018


ධනේෂ් විසුම්පෙරුම
විදුසර, 04.04.2018, පි. 3 (Vidusara)



නාවුක ගමනාගමනය නිසා නිකුත්වන හරිතාගාර වායු විමෝචන සීමා කළ යුතු යැයි ඉදිරිපත්ව ඇති යෝජනාවක් සම්බන්ධව මේ සතියේ පැවැත්වෙන අන්තර්ජාතික සමුද්‍රීය සංවිධානයේ සමුළුවකදී සාකච්ඡුා වනු ඇතැයි අපේක්ෂිතය.
 
මේ වන විට පවත්නා තත්ත්වය අනුව නාවුක ගමනාගමනයෙන් නිකුත්වන විමෝචන පාලනය කිරීම සඳහා කිසිදු එකඟතාවයක් නැත. මෙය අන්තර්ජාතික අංශයක් වන බැවින් සාමාන්‍ය එක්සත් ජාතීන්ගේ දේශගුණ සාකච්ඡුාවලදී සාමාන්‍යයෙන් කතාබහට ලක් නොවේ. මේ ආකාරයෙන් දිගටම කටයුතු සිදුවුවහොත් 2050 වර්ෂය වන විට ලෝකයේ සමස්ත කාබන් ඩයොක්සයිඞ් වායු විමෝචන අතරින් 20%ක් පමණ නාවුක අංශයෙන් විය හැකි බව පෙන්වාදී ඇත.
 
කෙසේ වෙතත් ඇතැම් රටවල් නාවුක අංශයේ විමෝචන කපා හැරීම පිළිබඳව විරෝධයක් දක්වනු දැකිය හැකිය. එයට මූලික හේතුව මේ නිසා ජගත් වෙළෙඳාම සඳහා කිසියම් බලපෑමක් ඇති විය හැකි වීමයි. මේ විරෝධයට සම්බන්ධ වි ඇති රටවල් වැඩි ප‍්‍රමාණයක් දියුණු වන රටවල්ය. එම රටවල ආර්ථිකයට අන්තර්ජාතික වෙළෙඳාම වැදගත්වන බැවින් නාවුක ගමනාගමනය වැදගත් වෙයි. මෙම තත්ත්වය නිසා එම රටවල් හා එවැනි සීමා කිරීමකට පක්ෂ රටවල් අතර කිසියම් ගැටුමක් නිර්මාණය වී තිබෙයි. මෙවැනි කපාහැරීමකට පක්ෂ රටවල මතය වන්නේ වඩා පිරිසිදු තාක්ෂණයක් වෙත යොමුවීමෙන් නාවුක අංශයේ වර්ධනයක් සැලසෙන බවයි.
 
පිරිසිදු තාක්ෂණය හා උපක‍්‍රම යොදාගැනීම මගින් නාවුක අංශයේ විමෝචන අඩු කරගත හැකි බව පෙන්වාදී තිබේ. නිදසුනක් ලෙස ගතහොත්, 2025 වන විට නිපදවනු ලබන නෞකාවල බලශක්ති කාර්යක්ෂමතාවය නූතනයේ භාවිත වන නැව්වලට වඩා 30%කින් පමණ ඉහළ වනු ඇත. එහෙත් දැනට පවත්නා නැව් ගමන් කරන වේගය මදක් අඩු කිරීම මගින් එම නැව්වලින් නිකුත්වන කාබන් ඩයොක්සයිඞ් විමෝචන ප‍්‍රමාණයේ කැපී පෙනෙන වෙනසක් සිදු කළ හැකි බවද සඳහන් වෙයි.

No comments:

Post a Comment