Friday, April 13, 2018

මුදල් අය කිරීමත් සමඟ ප්ලාස්ටික් බෑග් ඉවත දැමීම අඩු වෙයි

ජගත් පරිසර පුවත් 258 - 11.04.2018


ධනේෂ් විසුම්පෙරුම
විදුසර, 11.04.2018, පි. 3 (Vidusara)



යුරෝපයේ විශාල සාගර ප‍්‍රදේශයකට ප්ලාස්ටික් බෑග් එක්වීම අඩු වීම සඳහා යුරෝපා රටවල් ගණනාවක මේ වන විට ක‍්‍රියාත්මක ප්ලාස්ටික් බෑග් සඳහා මුදල් අයකිරීමේ ක‍්‍රියාවලිය දායක වී ඇති බව අධ්‍යයනයක් මගින් පෙන්වාදී තිබෙයි.

මුහුදු පත්ලේ දැකිය හැකි අපද්‍රව්‍ය ප‍්‍රමාණය පිළිබඳව 1992 වර්ෂයේ සිය 2017 වර්ෂය දක්වා වසර විසිපහක කාලයක් පුරා එකතු කළ දත්තමගින් සිදුකර ඇති මේ අධ්‍යයනයෙදී උක්ත කරුණ හෙළි වී ඇත. එ් අනුව නෝර්වේ, ජර්මනිය, උතුරු ප‍්‍රංශය හා අයර්ලන්තයට බටහිරින් පිහිටා ඇති විශාල මුහුදු ප‍්‍රදේශයේ සාගර පත්ලේ හමුවන ප්ලාස්ටික් බෑග් ප‍්‍රමාණයේ 30%ක පමණ අඩුවීමක් දැකිය හැකිය. මෙවැනි අඩුවීමක් දැකිය හැක්කේ 2010 වර්ෂයේ පමණ සිටය. එම කාලය යුරෝපයේ රටවල් මෙම බඳු පැනවීමේ ක‍්‍රියාවලිය කරා යොමු වීමේ මධ්‍යම අවධිය සේ සැලකේ. යුරෝපා රටවල ප්ලාස්ටික් බෑග් සඳහා මුදල් අයකිරීමේ ක‍්‍රියාවලිය ආරම්භ වන්නේ 2003දී අයර්ලන්තය හා ඩෙන්මාර්කය ගත් පියවර සමඟය. මේ වන විට එ් හා සමාන පියවර රටවල් රැුසක ක‍්‍රියාත්මක වෙයි.

සාගර පත්ලේ හමුවන ප්ලාස්ටික් ප‍්‍රමාණය පිළිබඳව සිදුකර ඇති මේ අධ්‍යයනයේදී පෙනී ගොස් ඇති පරිදි ප්ලාස්ටික් බෑග් ප‍්‍රමාණය මෑත කාලයේදී අඩු වී ඇතත්, මසුන් ඇල්ලීමට යොදාගන්නා උපකරණ වැනි සෙසු ප්ලාස්ටික් වර්ග හමුවීම ඉහළ ගොස් ඇත. මෙසේ ප්ලාස්ටික් බෑග්වල ප‍්‍රමාණය පමණක් අඩු වීම වැදගත් සිදුවීමකි.
මේ අනුව ජනතාව ප්ලාස්ටික් බෑග් භාවිත කරන ප‍්‍රමාණය අඩු වන විට, පරිසරයට බැහැර කරනු ලබන බෑග් ප‍්‍රමාණයද අඩු වන බව පැහැදිලිය. එංගලන්තය 2015දී හඳුන්වාදුන් බද්දෙන් පසුව එරට එ්ක පුද්ගල ප්ලාස්ටික් බෑග් භාවිතය 140 සිට 25 දක්වා අඩු වී ඇත. මෙමගින් ප්ලාස්ටික් බෑග් සඳහා බදු පැනවීමේ ඇති සාර්ථකත්වය පැහැදිලි වන බව මේ පර්යේෂකයන්ගේ අදහසයි. (මූලාශ‍්‍රය: Science of The Total Environment, DOI: 10.1016/j.scitotenv.2018.02.245)

No comments:

Post a Comment