Friday, April 13, 2018

දේශගුණ වෙනස් වීම නිසා ඇතිවන සංක‍්‍රමණ

ජගත් පරිසර පුවත් 257 - 04.04.2018


ධනේෂ් විසුම්පෙරුම
විදුසර, 04.04.2018, පි. 3 (Vidusara)



2050 වර්ෂය වන විට තමන් ජීවත්වන රට තුළ ඇති වන දේශගුණ වෙනස් වීම හා සම්බන්ධ තත්ත්ව නිසා මිලියන 140ක් පමණ පිරිසක් තම රටවල් ඇතුළතම අවතැන් වීමට ඉඩ ඇති බව ලෝක බැංකු වාර්තාවක් මගින් පෙන්වාදී තිබේ. ඒ උප-සහරානු අප‍්‍රිකාව, දකුණු ආසියාව හා ලතින් ඇමරිකාව යන අධික ජනගහනයක සහිත කලාපවලය.

මෙවැනි තත්ත්වයක් ඇති වන්නේ දේශගුණ වෙනස් වීම නිසා සෙමින් සිදුවන බලපෑම් නිසාය. මුහුදු මට්ටම ඉහළ යෑම නිසා භූමිය අහිිමි වීම, වෙනස් වන වර්ෂාපතනය හා ඉහළ උෂ්ණත්වය නිසා ජලහිඟතාවයක් ඇති වීම හා භෝග ඵලදායකත්වය අඩු වීම වැනි කරුණු මේ අතර වේ. මේ අනුව අදාළ රටවල් තුළ සිදුවන අභ්‍යන්තර සංක‍්‍රමණ පිළිබඳව මෙම වාර්තාවෙන් සලකා බලා ඇත. එයට හේතුව මෙවැනි හේතු නිසා අවතැන් වන පිරිස් අතරින් බහුතරය සිය රට තුළම රැඳී සිටින්නට පෙළඹීමයි. මෙහිදී වර්තමානයේ ඇති වායු විමෝචන පිළිබඳ පුරෝකථන යටතේ සිදුවිය හැකි තත්ත්වය පිළිබඳව ආකෘති යොදාගනිමින් අවධානය යොමු කර ඇත. එහිදී පෙනීගොස් ඇත්තේ 2050 වර්ෂය වන විට උපසහරානු අප‍්‍රිකාවේ මිලියන 86ක්ද, දකුණු ආසියාවේ මිලියන 40ක්ද, ලතින් ඇමරිකාවේ මිලියන 17ක්ද පමණ පිරිසක් අවතැන් වනු ඇතැයි පැවසේ.

මේ තත්ත්වය පාලනය කිරීමට නම්, දේශගුණ වෙනස් වීම වැළැක්වීම සඳහා සහ සංවර්ධන සැලසුම් තුළට ජන සංක‍්‍රමණ ඇතුළත් කිරීම වැදගත්වන බව මෙම වාර්තාව මගින් පෙන්වාදී ඇත. එමගින් මෙම අනාථයන්ගේ ගණන 80%ක් පමණ ප‍්‍රමාණකින් අඩු කරගත හැකි බවද එහි දැක්වේ. විශේෂයෙන් මේ තත්ත්වය වඩාත් බලපාන්නේ දියුණුවන රටවලට වීම වැදගත්කරුණකි. (මූලාශ‍්‍රය: Groundswell: Preparing for Internal Climate Migration, www.worldbank.org)

No comments:

Post a Comment