Monday, April 30, 2018

පක්ෂි විශේෂ අටෙන් එකක් වඳවීමේ තර්ජනයට ලක්වෙලා

ජගත් පරිසර පුවත් 260 - 25.04.2018


ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 25.04.2018, පි. 3 (Vidusara)



ලෝකයේ ජීවත්වන පක්ෂි විශේෂ අටෙන් එකක් පමණ ප‍්‍රමාණයක් වඳවීමේ තර්ජනයට ලක්ව ඇති බව පසුගියදා නිකුත් වූ The State of the World’s Birds නම් වාර්තාව මගින් අනාවරණය කර ඇත. මේ සඳහා මූලිකව බලපා ඇති කරුණ වන්නේ කෘෂිකර්මයේ ව්‍යාප්තිය හා කෘෂිකර්මය තීව‍්‍ර භාවයට පත්වීමයි.

වසර පහකට වරක් සකස් කරනු ලබන මෙම වාර්තාවට අනුව තර්ජනයට ලක්ව ඇති පක්ෂි විශේෂ 1,469ක් අතරින් විශේෂ 1,091ක් හෙවත් 74%කට පමණ ප‍්‍රමාණයක් එම තත්ත්වයට පත් වීම සඳහා බලපා ඇති මූලික හේතුව මිනිසුන්ගේ කෘෂිකාර්මික කටයුතු වෙයි. දැවහෙළීම (විශේෂ 734කට), ආක‍්‍රමණික ජීවීන් (විශේෂ 578කට) හා දඩයම් කිරීම හා උගුල් ඇටවීම (විශේෂ 517කට) පක්ෂීන්ට බලපා ඇති අනෙක් ප‍්‍රධාන තර්ජන අතර වෙයි. දේශගුණ වෙනස්වීම හා ආන්තික කාලගුණ තත්ත්වද පක්ෂි විශේෂ 485කට තර්ජනයක් වී ඇත.
මේ වාර්තාව සම්බන්ධව අදහස් දක්වා ඇති එයට සඳහා දායක වූ BirdLife International ආයතනයේ ප‍්‍රකාශකයෙකුට අනුව සාමාන්‍යයෙන් තර්ජනයට ලක් වූ පක්ෂීන් අතර මීට පෙර වූයේ උස් කඳුකර ප‍්‍රදේශ හා හුදකලා දූපත් වැනි සීමිත ප‍්‍රදේශවල වාසය කරන පක්ෂීන්ය. එහෙත් මෙවර වාර්තාවේ පුළුල් ව්‍යාප්තියක් දක්වන හා සාමාන්‍යයෙන් හොඳින් දන්නා පක්ෂීන්ද තර්ජනයට ලක් වූ පක්ෂීන් අතර වෙයි.
මෙම වාර්තාවෙන් තවදුරටත් පෙන්වා දෙන ආකාරයට ලෝකයේ දැකිය හැකි පක්ෂි විශේෂ අතරින් 40%ක් පමණ ප‍්‍රමාණයකගේ ගහන අඩුවෙමින් තිබෙයි. උක්ත වාර්තාව මෙසේ පක්ෂීන්ගේ තර්ජනයට බලපා ඇති හේතු පිළිබඳව පැහැදිලි කිරීමක් සිදුකර ඇත. එමෙන්ම පක්ෂි සංරක්ෂණය සඳහා ගත හැකි පියවර සම්බන්ධවද සඳහන් කර ඇති අතර, ඒවා සාර්ථක වූ අවස්ථා සම්බන්ධයෙන්ද සඳහන් කර තිබෙයි. (මූලාශ්‍රය: The State of the World’s Birds, www.birdlife.org)

No comments:

Post a Comment