Saturday, March 31, 2018

සාගරයේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය වර්ධනය වන අයුරු

ජගත් පරිසර පුවත් 256 - 28.03.2018


ධනේෂ් විසුම්පෙරුම
විදුසර, 28.03.2018, පි. 3 (Vidusara)



සාගරයේ දැකිය හැකි ප්ලාස්ටික් අපද්‍රව්‍ය පිළිබඳ ගැටලූව දැන් කලක පටන් පුළුල්ව සාකච්ඡුා වන කරුණකි. එමගිින් සිදු විය හැකි බලපෑම් ගැනද මේ වන විට ලෝකයේ අධානය යොමුව තිබෙයි. මේ වන විට හෙළිව ඇති ආකාරයට ප්ලාස්ටික් අපද්‍රව්‍ය අධිකව සාන්ද්‍රණය වී ඇති ස්ථාන පහක් ලෝකයේ සාගර ප‍්‍රදේශවල දැක ගත හැකිය. එ් උතුරු පැසිෆික්, දකුණු පැසිෆික්, උතුරු අත්ලාන්තික්, දකුණු අත්ලාන්තික් හා ඉන්දියානු සාගරයේය.

මේ පිළිබඳ පළ වූ අධ්‍යයනයකට අනුව පැසිෆික් සාගරයේ දැකිය හැකි පාවෙන ප්ලාස්ටික් එකතුව (මෙය සාගරයේ විශාලතම පාවෙන ප්ලාස්ටික් එකතුව වේ) වේගයෙන් ඉහළ යමින් ඇත. මේ අධ්‍යයනයට අනුව කැලිෆෝර්නියාව හා හවායි දූපත් අතර වර්ග කිලෝමීටර් මිලියන 1.6ක් පමණ වන ප‍්‍රදේශයක අවම වශයෙන් ප්ලාස්ටික් ටොන් 79,000කට අධික ප‍්‍රමාණයක් පාවෙමින් තිබෙයිි. එ් අගය මෙතෙක් විශ්වාස කළ අගය මෙන් සිව් ගුණයත් දහසය ගුණයත් අතර වෙයි. මෙම නව අධ්‍යයනයේදී ගුවන් ඡායාරූප හා බෝට්ටු යොදා ගැනීම මෙම ඇස්තමේන්තුව අතීතයේ තිබු ඇස්තමේන්තුවලට වඩා ඉහළවීමට හේතුව බව පැවසේ. මෙමගින් පෙනෙන්නේ සාගරයට ප්ලාස්ටික් එකතු වීම වැළැක්වීම සම්බන්ධව කටයුතු කිරීමේ ඇති වැදගත්කම බව මේ පිළිබඳ අදහස් දක්වන විශේෂඥයන්ගේ අදහසයි.

මෙහිදී හෙළිව ඇති තවත් කරුණක් වන්නේ මේ ප‍්‍රදේශයේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප‍්‍රමාණය අවට ප‍්‍රදේශයට වඩා වේගයෙන් වර්ධනය වන බවයි. මේ අතරින් 8%ක් පමණ ක්ෂුද්‍ර ප්ලාස්ටික් වන බවද සොයාගෙන ඇත. එසේම මේ සමස්ත ප‍්‍රමාණයෙන් හතරෙන් තුනකටත් වඩා වැඩි ප‍්‍රමාණයක් සෙ.මී.5ට වඩා විශාල ප‍්‍රමාණයේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය වීම විශේෂයකි. (මූලාශ‍්‍රය: Scientific Reports, DOI: 10.1038/s41598-018-22939-w)

මේ අතර බි‍්‍රතාන්‍ය රජය වෙත ලබාදී ඇති වාර්තාවකින් පෙන්වාදී ඇති ආකාරයට සාගරයේ දැකිය හැකි ප්ලාස්ටික් ප‍්‍රමාණය පාලනය නොකළහොත්, තවත් දශකයක් ඇතුළත සාගරයේ දැකිය හැකි ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප‍්‍රමාණය තුන් ගුණයකින් පමණ ඉහළ යා හැකිය.

No comments:

Post a Comment