Saturday, March 31, 2018

සාගරය ආම්ලිකකරණයෙන් කොරල්පර වර්ධනයට ඇති වන බලපෑම්

ජගත් පරිසර පුවත් 255 - 21.03.2018


ධනේෂ් විසුම්පෙරුම
විදුසර, 21.03.2018, පි. 3 (Vidusara)



වායුගෝලයේ කාබන් ඩයොක්සයිඞ් සාන්ද්‍රණය අඛණ්ඩව ඉහළ යෑම නිසා කොරල්පර තර්ජනයට ලක්වන බව අධ්‍යයනයකින් පෙන්වා දී තිබෙයි. එ් කාබන් ඩයොක්සයිඞ් මුහුදු ජලයේ දියැවී මුහුද ආම්ලිකකරණය වන බැවිනි. මේ නිසා කැල්සියම් කාබනේට් වර්ධනය වීම වලකින අතර, කොරල්පරවල වර්ධනය සඳහා මෙය බලපායි.

ඔස්ටේ‍්‍රලියාවේ මහා බාධක පරයේ පිහිටි එක් පරයක් ආශ‍්‍රිතව සිදුකර ඇති මෙම අධ්‍යයනය සාගරය ආම්ලිකකරණය වීම ක්ෂේත‍්‍රයේ ස්වාභාවික කොරල් පර පද්ධතියක් ආශ‍්‍රිතව පරීක්ෂා කරන ලද පළමු අවස්ථාව වෙයි. මින් ඉහතදී පරීක්ෂණාගාර තත්ත්ව යටතේ සිදුකර ඇත්තේ එක් එක් කොරල් ජීවීන්ට සාගරය ආම්ලිකකරණය වීම බලපාන අන්දම සොයා බැලීමය. එහෙත් සමස්ත පරිසර පද්ධතියකට එය බලපාන ආකාරය පරීක්ෂා කරන ලද පලමු අවස්ථාව මෙය වෙයි. එහිදී සුවිශේෂ කොරල් පරිසර පද්ධතියකට කාබන් ඩයොක්සයිඞ්වලින් සංතෘප්ත වූ ජලය නිදහස් කිරීමෙන් මේ පරීක්ෂණය සිදුකර ඇත. මේ සියවසේ මැද භාගයේදී පමණ ඇති විය හැකි සාගර ආම්ලිකකරණය ප‍්‍රමාණය පිළිබඳව මෙහිදී අවධානය යොමු කර ඇත.

පර්යේෂකයින්ට පෙනී ගොස් ඇත්තේ ජලයේ ඉහළ කාබන් ඩයොක්සයිඞ් සාන්ද්‍රණයක් හමුවේ කොරල්පර චූර්ණීභවනයේ (calcification) තුනෙන් එකක පමණ අඩුවීමක් දැකිය හැකි බවයි. මෙම අඩුවීම නිසා විරංජන සිදුවීමකදී මෙන් කොරල්පර කෙටිකලක් තුළ මියයෑම සිදුනොවන නමුත් එමගින් කොරල්පර වර්ධනය, ප‍්‍රතිවර්ධනය වීමේ හැකියාව හා බෝවීමට ඇති හැකියාව අඩු කරයි. කොරල්පර විරංජනය වැනි කොරල්පර විනාශ වූ අවස්ථාවකදී එ්වා යථා තත්ත්වයට පත් වීම සඳහා කොරල්පරවල pH අගය අඩු වීම බලපෑ හැකිය. අධ්‍යයනයට ලක් වූ පරය ආශ‍්‍රිත සාගරයේ pH අගය 8.1ක් පමණ වූ අතර, පූර්ව කාර්මික අවධියේදී පැවැති සාගර ජලයේ pH අගය 8.2ක් පමණ වූ බව සැලකේ. මෙම පරීක්ෂණයේදී සාගර ජලයේ pH අගය 8.0 දක්වා අඩු කර ඇත.

(මූලාශ‍්‍රය: Nature, DOI: 10.1038/nature25968)

No comments:

Post a Comment